Last Update  :  2025-11-12 22:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් අර්බුදයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් අර්බුදයක

editorial - 2025 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පුද්ගලයන් 12 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ඊයේ (11) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මේ දින වල එරට තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් අර්බුදයකට මුහුණපා ඇතැයි වාර්තාවේ. 

තරගාවලියේ පළමු තරගය පැවැති රාවල්පිණ්ඩි නුවරට කිලෝ මීටර් 17 ක් පමණ දුරකින් පිහිටි ඉස්ලාමාබාද් නුවර උසාවියක් අසල මෙම බෝම්බ ප්‍රහාරය සිදුව ඇති අතර තවත් 27 දෙනකු ඉන් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොසින් නක්වි මහතා සඳහන් කර සිටියේය. 

මෙම සිදුවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මහත් කලබලකාරී තත්වයකට පත්ව ඇති අතර හෙට (13) අලුයම විට ඔවුන් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමේ සූදානමකින් පසුවූ බව දැනගන්නට ලැබේ. පවතින අවදානම් සහගත තත්වය මත අද (12) පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසියට සහභාගි වීමෙන් වැළකී සිටීමටද ක්‍රීඩකයන් පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් කළ විමසුමකදී කණ්ඩායම සමග සිටින නිලධාරීයකු කියා සිටියේ අද රාත්‍රිය වන විටත් ක්‍රීඩකයන් බහුතරයක් නැවත ශ්‍රී ලංකාව බලා ඒම සඳහා සැලසුම් කරමින් සිටි බවය. එහෙත් ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය තව දුරටත් පාකිස්තානයේ රැදී සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසීය. 

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයෙන් කළ විමසුමකදී එහි ඉහළ නිලධාරියකු කියා සිටියේ තරගාවලිය අතර මැද ක්‍රීඩකයන් ආපසු ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු නොකරන බවත්, යම් ක්‍රීඩකයකු තරගාවලියේ අතහැර දමා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු පාකිස්තානයට යැවීමට කටයුතු කරන බවත්ය. 

වාර්තා වන පරිදි පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 17 දෙනාගෙන් 16 දෙනෙකුම ආපසු පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන අතර එසේ සිදුවුව හොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා සම්පූර්ණ කණ්ඩායමක්ම පාකිස්තානය බලා පිටත්කර යැවීමට සිදුවනු ඇත. 

බෝම්බ ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති මොසින් නක්වි මහතා ශ්‍රී ලංකා කණ්ඩායම හමුවී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඒ පිළිබඳ සහතික වී ඇතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බහුතරයක් තවදුරටත් පාකිස්තානයේ රැදී සිටීමට අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තවත් තරග 2 ක් හෙට සහ සෙනසුරාදා (15) රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් පවතින තත්වය මත බොහෝ දුරට හෙට පැවැත්වීමට නියමිත තරගය කල් දැමීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන් කොන් තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය. 

මීට වසර 16 කට පෙර එනම් 2009 වසරේදී පාකිස්තානයේ සංචාරයක නිරතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ලාහොර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුහුණදුන් අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනකු තුවාල ලබා, පාකිස්තාන පොලිස් නිලධාරීහු 6 දෙනෙක් සහ සාමාන්‍ය වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 

එහිදී තුවාල ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර නායක මහේල ජයවර්ධන, උප නායක කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයෝ වූහ. ඔවුන් අතරින් තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන තරමක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළහ. 

එම සිදුවීමෙන් වසර ගණනාවක් ගතවන තෙක්ම කිසිදු කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයන්වල නිරත නොවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් යළි පාකිස්තානය බලා ගියේ එම සිදුවීමෙන් වසර 8 කට පසුව එනම් 2017 වසරේදීය. පුබල ක්‍රීඩකයන් රැසක් එම තරග සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කරද්දී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු තරුණ කණ්ඩායමක් ඊට එක්වීය. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් අර්බුදයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.