Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රිකට් අයි.සී.සී.යේ කනෙන් රිංගයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අයි.සී.සී.යේ කනෙන් රිංගයි

editorial - 2024 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වනිඳු හසරංගට තහනම් කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙම තහනම පනවා ඇත්තේ වනිඳු ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කිරීමට නැවතත් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පැය 24 ක් ඉක්ම යාමටත් මත්තෙනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ටෙස්ට් සංචිතය නිවේදනය කිරීමට පොරතුව, තමන් නැවතත් ටෙස්ට් පිටියට පැමිණෙන බවක් වනිඳු පැවසී යයි කිසි තැනෙක සටහන් නොවීය. අඩුතරමේ අයි.පී.එල්. තරගාවලියේදී වනිඳු ක්‍රීඩා  කරන ‘සන්රයිසස් හයිද්‍රාබාද්’ කණ්ඩායමෙන් හෝ ඒ සම්බන්ධ නිවේදනයක් නොතිබිණ. මක්නිසාද යත් ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග තුනම ඔහුට අහිමි වන බැවිනි.

වනිඳු නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ නිවේදනය නොකෙරිණ. දැන් පැවැත්වෙන ජාතික සුපිරි ලීගයේ (සිව්දින) තරගාවලියට වනිඳු ක්‍රීඩා කළේත් නැත. ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2021 අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැලේදීය. මේ දක්වා ටෙස්ට් තරග 4 කදී කඩුලු 4 ක් පමණක් දවාගෙන සිටින වනිඳු හසරංගගේ ටෙස්ට් කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 100.75 කි. 

ලෝකය පුරාම ඇති පෞද්ගලික කණ්ඩායම් වෙනුවෙන් මෙන්ම විස්සයි-20 සහ එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම සඳහා වනිඳු හසරංග පසුගිය වසරේ (2023) අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය. එහෙත් බංග්ලාදේශයට එරෙහිව මේ සතියේදී ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා සංචිතය නිවේදනය කිරීමේදී කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදි වනිඳු හසරංගත් ඊට ඇතුළත්ව සිටියේය. 

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තුන්වැනි තරගයේදී ‘අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම’ සම්බන්ධයෙන් වනිඳු වරදකරුවකු වී තිබිණ. එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලය සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය කඩකිරීමකි. තරගයේ 37 වැනි ඕවරයේදී හසරංග විසින් විනිසුරුවරයාගෙන් තමාගේ හිස්වැස්ම උදුරා ගැනීම සහ විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීම ඊට හේතුවයි. 

මෙම තරගය කඩුලු 4 කින් ජයගත් බංග්ලාදේශය තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්තේය.  තුන්වැනි තරගය අවසානයේදී වනිඳු හසරංග දරුණු ප්‍රහාරයකට ලක්විය. බංග්ලාදේශ පිතිකරුවෝ ඕවර 40.2 කින් ලකුණු 237 ක් ලබාගත්තේ වනිඳුගේ අවසන් ඕවර දෙකින් ලකුණු 40 ක් උදුරා ගනිමිනි. වනිඳු හසරංග විසින් යවන ලද 37 වැනි ඕවරයේදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 16 ක් ලබාගත් රිෂාඞ් හොසේන් 39 වැනි ඕවරයේදී වනිඳුගෙන් ලකුණු 24 ක් උදුරා ගත්තේ එක දිගට ගැසූ හයේ පහර දෙකක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

37 වැනි ඕවරය නිමාවේදී විනිසුරුවරයාගෙන් හිස්වැස්ම උදුරාගැනීමත්, විරෝධය දැක්වීමත් හේතුවෙන් වනිඳුට ඔහුගේ තරග මුදලින් 50්‍ර ක දඩයක් නියම වූ අතර ඒ සඳහා ‘අගති ලකුණු’ 3 ක් ද එකතු කෙරිණ. ඒ අනුව මාස 24ක කාලයක් ඇතුළත ඔහුගේ සම්පූර්ණ අගති ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගියේය. 

පසුගිය මාසයේ දඹුල්ලේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ‘අගති ලකුණු 3 ක් අත්කරගැනීමෙන් පසු, වනිඳු අගති ලකුණු 05 ක් ලබා සිටියේය. ඒ අනුව ඔහුට බංග්ලාදේශයට එරෙහිව විස්සයි-20 තරග දෙකක තහනමක් පනවා තිබිණ. 18 වැනිදා තරගයේ සිදුවීමෙන් පසුව තවත් ‘අගති ලකුණු’ 03 ක් එක්වීමෙන් ඔහුගේ අගති ලකුණු සංඛ්‍යාව 08 ක කඩඉම් සීමාව පැන ගියේය.  

අගති ලකුණු 08 ක්, තහංචි ලකුණු 4 ක් බවට පරිවර්තනය වේ. තහංචි ලකුණු 04 ක් ටෙස්ට් තරග දෙකක හෝ එක්දින තරග හතරක නැතහොත් විස්සයි-20 අන්තර්ජාතික තරග හතරක  තහනමකට සමාන වේ. මේවායින් කුමක් පළමුව ආවත් ඒවාට මුහුණ දීමට අදාළ ක්‍රීඩකයාට සිදුවනු ඇත. 

බංග්ලාදේශයට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා වනිඳු හසරංග සංචිතයට ඇතුළත් කිරීමෙන් සිදුවන්නේ වනිඳුට හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම බලපෑමක් නොවන පරිදි ඔහුගේ තහනම ගෙවී යාමයි. නැතහොත් ජූනි මස 02 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පළමු තරග 4 ම වනිඳු හසරංගට තහනම් වනු ඇත. 

කෙසේ වෙතත් සිය තහනම සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා සංචිතයේ රැඳී සිටිය යුතු බැවින් මේ මස 22 වැනිදා ආරම්භ වන අයි.පී.එල්. තරගාවලියේ පළමු තරග තුනම වනිඳු හසරංගට අහිමිවනු ඇත. 2024 තරගවාරයේදී ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි එක හමාරක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5.49 ක්) මුදලකට හයිද්‍රාබාද් සන්රයිසස් පිල විසින් වනිඳු හසරංග මිලදී ගන්නා ලදි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය අනුව තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා විසින් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ටත් ඔහුගේ තරග මුදලින් 50්‍ර ක දඩයක් නියම කර තිබේ. ඊට අමතරව කුසල්ටත් අගති ලකුණු 03 ක් නියම කර තිබේ. තරගය නිමාවීමෙන් පසුව අතට අත දෙන අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් විනිසුරුවරයාට බැණවැදී තිබේ. 

තුන්වැනි එක්දින තරගය අවසානයේදී විනිසුරුවරුන් විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් පැවැති විනය පරීක්‍ෂණයේදී වනිඳු හසරංග මෙන්ම කුසල් මෙන්ඩිස් ද තමන්ගේ වැරදි පිළිගෙන ඇත. 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් අයි.සී.සී.යේ කනෙන් රිංගයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.