Last Update  :  2025-07-08 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ තරගාවලිය සමකරති
ශ්‍රී ලංකා ‘ඒ පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ තරගාවලිය සමකරති

editorial - 2025 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැතිව් රැන්ෂෝගේ ශතකය සම්පූර්ණයෙන්ම බල රහිත කළ ප්‍රමෝද් මධුෂාන් (37/4), ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’කණ්ඩායම ලකුණු 51 ක ජයක් කරා කැඳවාගෙන ගියේය. පළමු තරගයෙන් පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය වේග පන්දු යවන්නා තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටත් සිය කණ්ඩායමට මඟ පෙන්වාලීය. 

ඕස්ට්‍රේලියානුවන්ගේ බිත්තියට කුළුගෙඩි පහර දෙන ලද්දේ ප්‍රමෝද් මධුෂාන් විසිනි. මැතිව් රැන්ෂෝ සමගින් එක්ව පන්දු 83 කින් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ලයාම් ස්කොට් දවාගත් මධුෂාන් තවත් පන්දු 7 කට පසුව නේතන් මැක්ස්වීනිගේ ඉනිම අවසන් කළේය. මේ අතරවාරයේදී කඩුල්ලේ අනෙක් අන්තයෙන් වැඩ ඇල්ලූ මොහොමඩ් ෂිරාස් සහ සහන් ආරච්චිගේ දෙදෙනා අලුතෙන් එක පිතිකරුවන්ට ස්ථාවර වීමට අවස්ථාව නොදීමට වගබලාගත්හ. 

ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් කඩුලු 8 ම ලකුණු 65 කට ඇද වැටුණේ එලෙසිනි. 
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 14 කට ක්‍රීඩා කර ඇති මැතිව් රැන්ෂෝ පන්දු 75 කින් ලකුණු 106 ක් ලබාගනිමින්, වරෙක ඕස්ටේ්‍රලියානු ‘ඒ’ ලකුණු පුවරුව කඩුලු 2 කට 178 ක් දක්වා ඉහළින් තැබීය. එහෙත් ප්‍රමෝද් මධුෂාන් කළ පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානුන්ගේ අවසන් කඩුලු 8 ම ලකුණු 65 ක් තුළ ඇද වැටිණ. මධුෂාන්ගේ ආරම්භයෙන් පසුව ඔහුට විශිෂ්ට සහයෝගයක් දුන් මොහොමඩ් ෂිරාස් (35/2), සහන් ආරච්චිගේ (29/2), සහ දුෂාන් හේමන්ත (32/2) එක්ව සත්කාරකයන්ව ලකුණු 243 කට සීමා කළහ. 

ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේදී අලංකාර පිතිහරඹයක නිරත වූ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 90 කින් ලකුණු 82 ක් ලබාගත්තේ හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සරසාලමිනි. ටෙස්ට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුගේ බාල සහෝදරයා වන නුවනිඳු පැහැබර අනාගතයකට හිමිකම් කියන නමුත් බොහෝ අවස්ථාවලදී තමන්ගේ කඩුල්ල නිකරුණේ වීසිකර දමන්නෙකි. 

නුවනිඳු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ක්‍රීඩා කරන සමයේදීම කීර්තිමත් ක්‍රිකට් පුහුණුකරුවකු වන රන්ජන් පරණවිතාන මහතා කියමින් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ හොඳ අවස්ථාවක් නුවනිඳුට ඇති බවයි. 

නුවනිඳු (82) සහ ලසිත් කෲස්පුල්ලේ (63) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 27 වැනි ඕවරයේදී දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටුණ නමුත් පසුපෙළ පිතිකරුවෝ සිය කණ්ඩායම ලකුණු 300 කඩඉම ආසන්නයටම ගෙන ගියහ.
 
මැතිව් රැන්ෂෝ පසුගිය සිකුරාදා පැවැති පළමු එක්දින තරගයේදීත් ලකුණු 80 ක් ලබාගත්තේය. ඉරිදා තරගයේදී ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන්ට තදින් පහර දුන් රැන්ෂෝ දුෂාන් හේමන්ත හමුවේ ‘ඉන්සයිඩ් - අවුට්’ පහරකින් එක්ස්ට්‍රා කවර්ස් කලාපයට ඉහළින් ලකුණු 6 ක් ලබාගත් අතර තමාගේ පිට ඉන්න පැත්තෙන් විශාල වශයෙන් ලකුණු ලබාගත්තේය. මොහොමඩ් ෂිරාස්ගේ පන්දුවක් ‘ෆයින් ලෙග්’ කලාපය හරහා හතරේ සීමාවට යවමින්, පන්දු 70 කින් සිය ශතකය සම්පූර්ණ කළ රැන්ෂෝ අවසානයේදී දුෂාන් හේමන්ත හමුවේ තවත් හයේ පහරක් ගැසීමට යාමේදී ඔහුට ගොදුරු විය. 

රැන්ෂෝ සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ ඕස්ටේ්‍රලියාවේ සිටින තරුණ පිතිකරුවන් අතර වඩාත් සාම්ප්‍රදායික පිතිකරුවකු ලෙසිනි. එහෙත් සීමිත ඕවර ක්‍රීඩාවේ ඉදිරිගමනත් සමගින් ඔහු දැන් දැන් වඩාත් ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ලක්‍ෂණ පෙන්නුම් කරයි. 


ශ්‍රී ලංකා ‘ඒ’ - ඕවර 50 කදී කඩුලු 7 ට 294 යි
(ළහිරු උදාර 27, ලසිත් කෲස්පුල්ලේ 63, නුවනිඳු ප්‍රනාන්දු 82, සහන් ආරච්චිගේ 18, පවන් රත්නායක 30, සොනාල් දිනූෂ 34, දුෂාන් හේමන්ත නොදැවී 10, ජැක් නිස්බෙට් 58/2, සෑම් එලියට් 30/2)

ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 243 යි
(මැතිව් ජයික්ස් 38, කැම්බෙල් කෙලවේ 11, ලයාම් ස්කොට් 53, මැතිව් රැන්ෂෝ 106, ජේසන් සංගා 10, මොහොමඩ් ෂිරාස් 35/2, සහන් ආරච්චිගේ 29/2, ප්‍රමෝද් මධුෂාන් 37/4, දුෂාන් හේමන්ත 32/2)

- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.