Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොස්නියැකි ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගනී

වොස්නියැකි ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහයන් 43 කට පසුව සිය පළමු වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතාව දිනාගැනීමට ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකි සමත් වූවාය. අද (27 වැනිදා) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැති ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහ තරගයේදී සිමෝනා හීල්ප් ලකුණු 7/2, 3-6 සහ 6-4 ක් ලෙසින් පරාජය කරමින් කැරොලින් සිය පළමු වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කීවාය.

මෙම ජයත්  සමගින් ලෝකයේ අංක 1 හිමි ටෙනිස් ක්‍රීඩිකාව වීමේ ගෞරවයත් අත්පත් කරගන්නා වොස්නියැකි සිය ජයග්‍රහණය සැමරුවේ කඳුළු සළමිනි. ඇයට ඕස්ට්‍රේලියානු විවෘත කිරුළ ප්‍රදානය කළේ කාන්තා ටෙනිස් පිටියේ සදාතනික වීරවරියක වන බිලී ජීන් කිංග් විසිනි.

පැය දෙකකුත් විනාඩි 49 ක් පුරා ඇදී ගිය මෙම තරගය පැවැති මෙල්බර්න් නගරයේදී මේ දිනවල පවතින අධික දාහය හේතුවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනාටම වෛද්‍යාධාර අවශ්‍ය විය. රොඞ් ලීවර් පිටිය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා තිබිණ. වරෙක සිමෝනා හීල්ප් දැඩි අපහසුතාවකට පත්වූ අතර ඇයගේ රුධිර පීඩනය පවා පරීක්‍ෂා කිරීමට වෛද්‍ය කණ්ඩායමට සිදුවිය. ඊළඟ විවේකයේදී ඇයට අයිස්වලින් පෙඟවූ තුවායක් ලැබිණ.

තවමත් 27 වැනි වියේ සිටින මෙම ඩෙන්මාර්ක ක්‍රීඩිකාව සම්බන්ධයෙන් බොහෝ දෙනා කීවේ ක්ෂේත්‍රයේ සිටින දක්‍ෂතම ක්‍රීඩිකාව වන නමුත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගැනීමට ඇය අසමත් වීම අවාසනාවක් බවයි. වසර 2009 දී සහ 2014 දී එක්සත් ජනපද විවෘත තරගාවලියේ අවසන් මහ තරග දෙකටම සුදුසුකම් ලබාගත් කැරොලින් වොස්නියැකි පළමු වතාවට ලෝකයේ අංක 1 ස්ථානය හිමිකරගත්තේ වසර 2010 තරම් ඈතකදීය.

“මේ අවස්ථාව ගැන මම අවුරුදු ගාණක් හීන දැක්කා...මගේ කටහඬ වෙව්ලනවා. මම සාමාන්‍යයෙන් අඬන කෙනෙක් නෙමේ. ඒත් මේක නම් හරිම හැඟීම්බර අවස්ථාවක්” යයි බිලී ජීන් කිංග් මහත්මියගෙන් කුසලානය ලබාගැනීමෙන් පසුව වොස්නියැකි පැවසූවාය.

“මට කණගාටුයි. මොකද අද මම ජයගත යුතුවම තිබුණා....මට විශ්වාසයි අපි අතරේ තවත් බොහෝ තරග තියෙන්න පුළුවන්. ඒත් මේක නම් ඇදහිය නොහැකි තරගයක්. ඇදහිය නොහැකි සටනක්...ඒත් මට කණගාටුයි” යයි සිය ප්‍රතිවාදිනිය වූ සිමෝනා හීල්ප්ගේ දස්කම් අගය කරමින් වොස්නියැකි පැවසූවාය.


අදහස් (0)

වොස්නියැකි ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.