Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වීනස් සොහොයුරියෝ දෙවැනි වටයට

වීනස් සොහොයුරියෝ දෙවැනි වටයට

ශනුක අරවින්ද - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය ටෙනිස් දිවියේ 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව හඹා යන අමෙරිකාවේ සෙරීනා විලියම්ස් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි දිනය වූ අද ජර්මනියේ ටට්ජානා මරියා ලකුණු 6-0 ක් සහ 6-2 ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට සේන්දුවීමට සමත්වූවාය. 37 හැවිරිදි මේ විශිෂ්ට ක්‍රීඩිකාවට මෙල්බර්න් නුවර රොඞ් ලිවර් පිටියේ පැවැති මේ තරගයේ ජයග්‍රහණය අත්කර ගැනීමට ගත වූයේ මිනිත්තු 49 ක් පමණි.

ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන 23 කටම හිමිකම් කියන සෙරීනාට ලොව වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන සංඛ්‍යාවක් දිනූ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩිකාව මාගරට් කෝට්ගේ වාර්තාව සම කිරීමට අවශ්‍ය වී ඇත්තේ තවත් එක කුසලානයක් පමණි.

මීට වසර දෙකකට පෙර 2017 දී අවසන් වරට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනූ සෙරීනා මෙවර නැවත මෙල්බර්න් නුවරට පැමිණියේ පසුගිය වසරේදි දෙවතාවක්ම අහිමිවූ ග්‍රෑන්ඞ් ස්ලෑම් වාර්තාව තැබීමේ අරමුණ ඇතිවය.

“අද තරගය තරමක් දුෂ්කර එකක් වුණා. නමුත් මේ අසීරු තරගයේ ජයග්‍රහණය මට මේ තරගාවලියේ ඉතිරි තරගවලට සාර්ථකව ක්‍රීඩා කිරීමේ මානසිකත්වය ඇති කළා” යයි තරගයෙන් පසුව සෙරීනා කීවාය.

වසර 2017 දී, එවකට සති අටක ගැබිනියක් ලෙස ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ දිනාගත් සෙරීනා මෙවර හඹා යන්නේ ඇගේ අටවැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවයයි. ඇය තරගාවලියට පැමිණ සිටින්නේ ඇයගේ දියණිය ඔලිම්පියාද සමගිනි.
“මට තවම හරියට සනීප මදි” සෙරීනා එසේ ද කීවාය.

ජීවිත අවදානමක් සහිත ලේ කැටිති ඇගේ සිරුරේ තවමත් පවතින බව ඇගේ වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. සිය දියණිය ඔලිම්පියා උපන්නාට පසුව පූර්ණ සුවය ලැබීමට පෙර නැවත පිටියට පිවිසීම හේතුවෙන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් ගැටලු සහගත බව වෛද්‍යවරු පවසා ඇත. මේ හේතුවෙන් ඇයට නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ද සිදුවී තිබේ.

“අවසන් වතාවට මෙහි පැමිණ කුසලානය රැගෙන යාම කවදාවත් අමතක වෙන්නෙ නෑ” යයි ඇය කියන්නේ එවර ඇය ජයගත්තේ ඇගේ දියණියත් කුසෙහි දරාගෙන වීම නිසාය.

මේ අතර ඊයේ දිනයේ කාගෙත් අවධානය දිනාගත්තේ සෙරීනාගේ සුරතල් දියණිය කළු පැහැති සූස නම් වූ බෝනික්කකු තුරුළු කරගෙන සිටීමය. අමෙරිකාවේ සුදු ජාතිකයකු වන ඇලෙක්ස් ඔහානියන් සමග විවාහ වූ සෙරීනා සිය දියණියට කළු පැහැති බෝනික්කකු තෑගි කළේ මන්දැයි මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට ඇය මෙසේ කීවාය.

“මට හිතුණා එයාගේ පළමු බෝනික්කා කළු පාට වෙන්න ඕනා කියලා. පස්සේ මම ඇයට සුදු පාට බෝනික්කෙක් තෑගි කරනවා... මිනිස්සු අතර කළු සුදු කියලා භේදයක් නෑ කියා දුවට කියන්නයි මට ඕනා. පාට මොනව වුණත් මිනිස්සු එකිනෙකාට ආදරය කරන්න ඕන කියලා ලොකු වෙනකොට එයා දැනගනීවි” යයි ඇය කීවාය.

මේ අතර සෙරීනාගේ වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස් ද ඊයේ රුමේනියාවේ මිහායිලා බුසානෙස්කියු ලකුණු 6-7 ක්, 7-6 ක් සහ 6-2 ක් ලෙස පරාජය කරමින් දෙවැනි වටයට පිවිසීමට සමත්වූවාය. ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකෝවික් ලකුණු 6-3 ක්, 6-2 ක් සහ 6-2 ක් ලෙස අමෙරිකාවේ මිචෙල් කෘගර් පරාජය කරමින් ද, අමෙරිකාවේ මැඩිසන් කීස් ලකුණු 6-2ක් සහ 6-2ක් ලෙස ඩෙස්ටානී අයිවා පරාජය කරමින් ද, ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ක්‍රීඩිකා රුමේනියාවේ සිමෝනා හීල්ප් ලකුණු 6-7 ක්, 6-4 ක් සහ 6-2 ක් ලෙස එස්ටෝනියාවේ කයිකා කනේපි පරාජය කරමින් ද දෙවැනි වටයට එක්වූහ.
 


අදහස් (0)

වීනස් සොහොයුරියෝ දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.