Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨයෝ කැඳවති

විස්සයි-20 මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨයෝ කැඳවති

editorial - 2023 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කැඳවීමට උපුල් තරංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. 

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්, මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය, එලෙස ක්‍රීඩකයන් 22 දෙදෙනකුගෙන් ශ්‍රී ලංකා මූලික සංචිතයට යළි කැඳවා සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වෙති. 

මේ වන විට 36 වැනි වියේ පසුවන මැතිව්ස් විස්සයි-20 ජාත්‍යන්තර තරග 78 කදී ලකුණු 1148 ක් රැස්කරමින් කඩුලු 38 ක් බිඳහෙළා ඇත. එහිදී 25.51 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් පවත්වාගෙන සිටින මැතිව්ස්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 51.57 ක අගයක් ගනී. 

මැතිව්ස් අවසන් වරට විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය. ඉන් අනතුරුව වසර 2 කුත් මාස 9 ක කාලයක් පුරා ඔහු විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැත. 

කෙසේ වුවත් මෙම වසරේදී (2023) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී බී-ලව් කැන්ඩි කණ්ඩායමට ක්‍රීඩා කරමින් තරග 11 ඉනිම් 10 කදී නොදැවීම් 2 ක්ද සමග ලකුණු 210 ක් රැස්කළ මැතිවුස්, එහිදී කඩුලු 7 ක් බිඳහෙළීමටද සමත් විය. 

තිස් දෙහැවිරිදි භානුක රාජපක්ෂ විස්සයි-20 ජාත්‍යන්තර තරග 37 කදී ලකුණු 678 රැස්කරගෙන ඇති අතර මෙම වසරේ ජනවාරි මසයේදී ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියෙන් පසුව ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් අහිමිවිය. 

වසර 2 කුත් මාස 3 ක කාලයකට පසුව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින අකිල ධනංජය අවසන් වරට විස්සයි-20 තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය. මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 31 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 28 කි. 

වනිඳු හසරංගගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ උප නායකයා ලෙස චරිත් අසලංක නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර වැනි ක්‍රීඩකයෝද කළට පසුව සංචිතයට කැඳවනු ලැබ සිටිති. 


ශ්‍රී ලංකා විස්සයි20 මූලික සංචිතය
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ප්‍රමෝද් මධුෂාන් සහ මතීෂ පතිරණ 


අදහස් (0)

විස්සයි-20 මූලික සංචිතයට ජ්‍යෙෂ්ඨයෝ කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.