(දමින්ද විජේසූරිය)
වසර 152 ක ගෞරවනීය ඉතිහාසයක් හිමි කොළඹ වෙස්ලි විද්‍යාලය, පසුගියදා එහි 70 වැනි රග්බි වාරය නිල වශයෙන් ආරම්භ කළේය. අප්‍රේල් 23 වැනිදා මොරටුව වේල්ස් කුමර විදුහල සමගින් තරගයට පිවිසීම, වෙස්ලි විද්‍යාලයේ 70 වැනි රග්බි වාරය සනිටුහන් කරයි.
වෙස්ලි විද්‍යාල ධජයට ඇතුළත් නිල් පැහැති ඉරි ද්විත්වය හේතුවෙන් “ඩබල් බ්ලූස්” යනුවෙන් හැඳින්වෙන වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙම පාසල් වාරයේදී මෙහෙයවීමේ වගකීම සිව්වැනි වසරේ වර්ණලාභීයකු වන කාසියර් ලයි වෙත පැවරී තිබේ.
කණ්ඩායමේ සිටින තවත් ප්‍රවීණ ක්‍රීඩකයන් අතුරින් නෙලිත් හපුගල්ල උප නායකයා ලෙසත්, පවන් තිරාණගම නියෝජ්‍ය උප නායකයා ලෙසත් කටයුතු කරති. මේ දෙදෙනාම සිව්වැනි වසරේ වර්ණලාභියෝ වෙති.
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ වත්මන් ඉදිරිපෙළ පුහුණුකරුවා වන හෙන්රි ටෙරන්ස් වෙස්ලි විද්‍යාල රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා සහ නාවික හමුදා කණ්ඩායමේ හිටපු නායක තිලිණ වීරසිංහ, කණ්ඩායමේ ‘ත්‍රි-ක්වාටර්’ සහ ෆුල් බෑක් පුහුණුකරු ලෙස කටයුතු කරන අතර වෙස්ලි කණ්ඩායමේම හිටපු නායකයකු වන ඕමාර් කුතුබ්දීන් පසුපෙළ පුහුණුකරු ලෙස කණ්ඩායමට එක්වෙයි. තරංග ගලපිටවත්ත (භෞත චිකිත්සක) සහ මධුක මාරසිංහ (අභ්‍යාසක) දෙදෙනාගේ සහායත් වෙස්ලි විදුහලට ලැබෙන විට කණ්ඩායම් කළමනාකරු වශයෙන් වෙස්ලි කණ්ඩායමේ හිටපු තවත් නායකයකු වන ෂෙම් මෙන්ඩිස් මහතා කටයුතු කරයි. කණ්ඩායම භාර ආචාර්යවරයා වශයෙන් පියුමාල් පෙරේරා සහෝදතුමෝ කටයුතු කරති.
වෙස්ලි විද්‍යාලයේ 70 වන රග්බි වාරය සවිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් සහ තවත් ප්‍රධාන පෙළේ ව්‍යාපාර 5 ක් ඉදිරිපත්ව සිටිති. ඔවුන් අතුරින් ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් වෙස්ලි විදුහල හා වසර 10 ක බැඳීමක් ඇති සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් (සී.ඩී.බී.) ඉදිරිපත් වී සිටී. වෙස්ලි විද්‍යාලයීය රග්බි ක්‍රීඩාව හා දස වසරක බැඳීමක් ඇති ‘ඩීඩැට්’ රිදී අනුග්‍රාහකයන් වශයෙන් ඉදිරියට පැමිණ තිබේ.
ප්‍රධාන සහ රිදී අනුග්‍රාහකයන්ට අමතරව, ඉදිරිපෙළ අනුග්‍රාහකයෝ 6 දෙනෙක් වෙස්ලි රග්බි ක්‍රීඩාව හා අත්වැල් බැඳගෙන සිටිති. ‘හේමාස්’ ඖෂධ සමාගම, ගෝර්ඩ්න්, අලයින්, එක්ස්පෙඩිට් ග්ලෝබල් සහ රලුම් ස්පෝට්ස් වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායම සමගින් එක්ව සිටින්නෝ වෙති.
මෙවර තරගාවලියේ සමාරම්භක තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල පරාජය කරමින් ලකුණු 69 - 12 ක දැවැන්ත ජයක් අත්කරගත් වෙස්ලි විදුහල් කණ්ඩායම පසුගිය සෙනසුරාදා (2 වැනිදා) රත්මලානේ පැවැති තරගයේදී මහානාම විදුහල පරාජය කරමින් ලකුණු 36-12 ක පහසු ජයක් අත්කර ගත්තේය.
2026 පාසල් රග්බි වාරයේදී වෙස්ලි විදුහල සහභාගි වන ඉදිරි තරග
■ මැයි 9 - ආනන්ද විද්‍යාලයට එරෙහිව, රාජගිරිය ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී
■ මැයි 16 - ශාන්ත ජෝෂප් විද්‍යාලයට එරෙහිව සී.ආර්්. ඇන්ඩ් එෆ්.සී. පිටියේදී
■ මැයි 23 - ශාන්ත පීතර විදුහලට එරෙහිව බම්බලපිටියේදී
■ කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව (බ්ලේස් කුසලාන තරගය) සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව (ශ්‍රීමත් ඔලිවර් ග-ුණතිලක පළිහ තරගය) සඳහා තවමත් දින නියම කර නැත.

වෙස්ලි විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් ඉදිරිපත් වූ සිටිසන් ඩිවලොප්මන්ට් බිස්නස් ආයතනය, සිය අනුග්‍රාහක චෙක්පත වෙස්ලි විදුහල්පති අවංක ප්‍රනාන්දු මහතාට පිරිනමන ලද අවස්ථාව. විශ්‍රාමික කර්නල් රිසාන් හමිඩොන් (ක්‍රීඩා පාලක), ඉමිතියාස් ඉක්බාල් (විද්‍යාලයීය රග්බි කමිටුවේ සභාපති), කයිසර් ලයි (වෙස්ලි විද්‍යාලයීය රග්බි නායක) සහ සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් ආයතනයේ නිලධාරීන් වන සසිත් වඩිගසිංහ හා මෙවන් රණසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.