Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක්

විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක්

ශනුක අරවින්ද - 2017 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව 15 වැනි වරටත් සංවිධානය කරන ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලිය අප්‍රේල් මස 2 වැනිදා පෙරවරු 9.00 සිට කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන තරග 2 ද සමගින් තරග ඉසව් 14 ක් මෙවර  තරගාවලියට ඇතුළත් වන අතර ඒ සඳහා යතුරුපැදිකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ජපන් ජාතික ටොමෝයා සුසුකි මෙවර තරගාවලියට සහභාගි වන එකම විදෙස් තරගකරුවා බවට පත්ව සිටියි.

විජයබාහු ධාවන පථය කිලෝ මීටර් 2.1 ක දුරකින් යුක්ත වන අතර එය හැරවුම් (වංගු) 13 කින් සහ පිමි 24 කින් සමන්විත වේ.
තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයාට විජයබාහු රෙජිමේන්තු අභියෝග කුසලාන හිමිවන අතර දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා බවට පත්වන ක්‍රීඩකයාට යුද හමුදාපති අභියෝග කුසලානද, නැගී එන ක්‍රීඩකයාට ‘අයි’ නාලිකා අභියෝග කුසලානද හිමිවේ.

තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර පළමු ස්ථාන සඳහා රුපියල් 25,000 ක්, දෙවැනි ස්ථාන සඳහා රුපියල් 15,000 ක්, තෙවැනි ස්ථාන සඳහා රුපියල් 10,000 ක්ද බැගින් මුදල් ත්‍යාග ලබාදීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

ඉකුත් වසරේ (2016) පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ඉෂාන් දසනායක සම්මාන දිනාගත් අතර දක්ෂතම සන්නද්ධ සේවා යතුරුපැදිකරුවා ලෙස විජයබාහු රෙජිමේන්තුවේ නිහාල් විජේරත්නද සම්මාන දිනාගත්තේය.

එවර තරගාවලියේදී ක්‍රීඩකයක් වාර්තා කළ දිගම පිම්ම (අඩි 116) වාර්තා කිරීමට යුද හමුදාවේ සංඥා බලකාය නියෝජනය කළ බුද්ධික කසුන් සිල්වා සමත් විය. 11 වැනි වියේ පසුවූ ඩී. එම්. ඩී. කල්හාර නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

මෙතෙක් පැවැති තරගාවලි 14 න් හතරකදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ගයාන් සඳරුවන් සමත් වී ඇති අතර නලින් පෙරේරා, ආනන්ද වෙඩිසිංහ සහ ජපන් ජාතික තොමෝයා සුසුකි දෙවතාවක් බැගින් දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගෙන තිබේ.

ජපන් ජාතික අසුච් තනාබේ, ඉන්දීය ජාතික සී. එස්. සන්තෝෂ්, ඉන්දීය ජාතික එච්. කේ. ප්‍රදීප් සහ ඉෂාන් දසනායක එක්වර බැගින් විජයබාහු මොටෝක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්ව තිබේ.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිව් ලංකා ෆර්නිචර්ස් සමාගම කටයුතු කරන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, එලිෆන්ට් හවුස්, හච්, හොණ්ඩා, සියැට් සහ නයින්හාට්ස් යන සමාගම් සහ ආයතන එහි සෙසු අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

 

නිව් ලංකා ෆර්නිචර්ස් සමාගමේ හිමිකරු ලක්මාල් රත්නසිරි මහතා, විජයබාහු රෙජිමෙන්තු අධිපති මේජ්ර් ජෙනරාල් අජිත් කීර්ති මහතාට අනුග්‍රාහක චෙක්පත ප්‍රධානය කළ අයුරු... ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සභාපති උපාලි දසනායක මහතාට ඡායාරූපයේ සිටියි.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

විජයබාහු ධාවනපථයට තරගකරුවෝ 80 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.