Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලොවම නවතින විනාඩි 90 ක්
කටාර් - 2022

ලොවම නවතින විනාඩි 90 ක්

editorial - 2022 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මහ සටනින් ජය ලබන්නේ කවුරුන්ද යන්න විමසීමේ දී ආජන්ටිනාවට 35%කගේ විශ්වාසයක් පැවැති අතර 34% ක් කියා සිටියේ ඉරිදා (18) අවසන් මහ තරගය ජය ගන්නේ ප්‍රංශය බවයි. තවත් 34%කට ජයග්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය කර ගත නොහැකිව මංමුලාවී සිටියහ.

 මේ හෙට (18) ශ්‍රී ලංකා වේලාවෙන් කටාරයේ ‘ලුසායිල්’ පිටියේ දී ප්‍රේක්ෂකයන් 89,000ක් ඉදිරියේ රාත්‍රී 8.30ට පැවැත්වෙන 22 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා ආජන්ටිනාව අතර තරගයේ ජයග්‍රාහකයා සම්බන්ධයෙන් සිකුරාදා (16) වනවිට නිකුත්ව තිබූ මත විමසුමක ප්‍රතිඵලයයි.

වෙලාව ලෝකයේ කලාපයෙන් කලාපයට වෙනස් වුවත් කටාරයේ වේලාවෙන් පසුවරු 6.30ට ආරම්භ වන ප්‍රංශය හා ආජන්ටිනාව අතර තරගයට එම අවස්ථාවේදී ලොවේම  අවධානය යොමුවීම අතිශයෝක්තියක් නොවනු ඇත.

එකිනෙකාට කිසිසේත් නොදෙවනි තත්ත්වයකින් මෙම දෙපිල ඉරිදා පිටියට පිවිසියත් ලෝක කුසලාන හිමිවන්නේ මෙම දෙරටින් එක් රටකට පමණි. එබැවින් විශේෂයෙන්ම ප්‍රංශය හා ආජන්ටිනා වැසියන් එක එල්ලේ තරගයට නෙත් යොමා සිටින අතර, ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය එම අවස්ථාවේදී තදින්ම වැඩිවනු ඇත.

ඇමරිකානු ඩොලර් මිලියන 40ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1600කට වැඩි මුදල් ත්‍යාගයකින් පිරුණු කිලෝග්‍රෑම් 6කට වැඩි බරකින් යුත් රනින් නිපදවූ ලෝක පාපන්දු කුසලාන තවත් වසර හතරකට ආරක්ෂා කර ගැනීමට ප්‍රංශය දරන උත්සාහය වැළැක්වීමට ආජන්ටිනාව සමත් වන්නේ නම් එය ඔවුන් කුසලාන 1986න් පසුව හිමිකර ගන්නා පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වේ.

මෙම දුලභ අවස්ථාව ළඟා කර ගනිමින් ආජන්ටිනාව විසින් පළමු අවසන් පූර්ව තරගයේදී පසුගිය අනුශූරයන් වන ක්‍රොඑෂියාව පරාජයට පත් කළ අවස්ථාවේදී මිලියන ගණන් ජනතාව ලයනල් මෙසීගේ ඡායාරූප අතැතිව ආජන්ටිනාවේ වීදිවලට එක් රොක් වූහ.

පැරීසියේ තත්ත්වයද මෙයම විය. ප්‍රංශය පිට පිටම දෙවතාවක් ලෝක කුසලාන අවසන් මහ තරගයට පිවිසීම එරට වාසින් අභිමානයෙන් සමරද්දී එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාද පැරිස් නුවර වීදියකට පිවිස ජයඝෝෂා නගන්නන් අතරට එක්විය.

ඉරිදා තරගයේදී ආජන්ටිනා නායක ලයනල් මෙසී හා ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කයිලියන් බාපේ  මූණට මුණගැසීම අන්තර්ජාතික පාපන්දු පිටියේ දැඩිව අවධානය යොමුව පවතින මාතෘකාවකි.

ඒ අතරින් ලෝපතළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයකු වන ලයනල් මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය බැවින් ඔහුට එහිදී යොමුවී ඇත්තේ  මෙතෙක් වෙන කවර දිනකවත් නොවූ අවධානයකි. මෙම තරගය ඔහුට දිවියේ පීඩාකාරීම තරගය බවට පත්වනු ඇත්තේ කුසලාන දිනා ගැනීම මිසක වෙනත් විකල්පයක් ඔහුගෙන් ආජන්ටිනාව කිසිසේත් අපේක්ෂා නොකරන බැවිනි.

මෙසී  ඉරිදා තරග බිමට පිවිසෙන  විට අන්තර්ජාතික තරග 171 ක දී ගෝල 96ක් රැස්කර තිබුණි. මෙසීගේ සහයට සිටින කණ්ඩායමේ ශක්තිමත්ම ක්‍රීඩකයන් ලෙස මැද පෙළ ක්‍රීඩක ඒන්ජල් ඩී මාරියා සැලකිය හැකිය. ඔහු අන්තර්ජාතික තරග 128කදී ගෝල 27ක් මෙතෙක් ලබා තිබේ.

එවැනි තරග 99ක අත්දැකීම් හෙබි (ගෝල 4) නිකොලොස් ඔටමෙන්ඩි  මෙසීගේ සහයට පැමිණෙන තවත් විශ්වාසවන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩිඩියර් ඩෙස්වෑම්ප්ස් ඇතුළු 17 දෙනකු තරම් ඉහළ පුහුණු කාර්ය මණ්ඩලයක මගපෙන්වීම ලැබී තිබෙන ප්‍රංශය ඉරිදා තරගය ජය ගතහොත් ඉතාලිය හා බ්‍රසීලයෙන් පසුව එවැනි දස්කමක් කළ තෙවැනි රාජ්‍යය බවට පත්වනු ඇත.

ආජන්ටිනා නායක ලයනල් මෙසී හා සැසදීමේදී වෙනස්ම කාර්යභාරයක් ඉටු කරන ප්‍රංශ නායක හියුගෝ ලෝරිස්ට දැල රකිමින් පැවරී ඇත්තේ තම කණ්ඩායම මෙහෙයවීමය. පාපන්දු නායකයකු ලෙස ඔහුට කණ්ඩායම නිරික්ෂණය වඩාත්ම පහසු වන්නේ දැල් රකින්නාගේ කාර්යභාරය ඉටු කරන අතර ඔහුට සිය ක්‍රීඩකයන් සියලු දෙනා නිරික්ෂණය වන බැවිනි. එම අත්දැකීම ඔහු මේ දක්වා තරග 119ක දී අත්විඳ ඇත.

  කයිලියන් බාපේ ප්‍රංශ කණ්ඩායමේ වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩකයා බවට මේ වනවිට පත්ව සිටින්නේ මෙතෙක් කටාර් ලෝක කුසලාන තරගාවලියක දී ලයනල් මෙසී හා වැඩිම සම ගෝල ලාභින් දෙදෙනා බවට පත්ව සිටින බැවිනි.

ඔවුන් දෙදෙනාම දැනට ගෝල පහ බැගින් රැස්කර තිබේ. බාපේ තරග 65ක දී ගෝල 33ක් රැස්කර ඇත. ඔහු 2017 දී ප්‍රංශ වර්ණ දිනාගත් තවමත් 24 හැවිරිදි වියේ පසුවන්නෙකි.

ඇන්ටෝනි  ග්‍රේයිස්මාන්  (තරග 116කදී ගෝල 42ක්), කරීම් බෙන්සෙටා (තරග 97කදී ගෝල 37)  ප්‍රංශය මෙවරත් ලෝක කුසලාන අවසන් වටයට කැඳවාගෙන ඒමේ දී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ක්‍රීඩකයන්ය.

ආජන්ටිනාව හා ප්‍රංශය පිළිවෙලින් මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි අංක 3 හා 4 ලබා සිටින අතර මීළඟට ලෝකයේ අංක එක හිමි වන්නේ මෙම දෙරටින් කාටද යන්න ඉරිදා තරග ප්‍රතිඵලයෙන් විසඳෙනු ඇත.

ආජන්ටිනාව හය වතාවක් ද ප්‍රංශය සිව් වතාවක්ද ලෝක කුසලාන අවසන් සටනට පිවිස තිබෙන අතර මෙම දෙපිලෙන් කවුරු ඉරිදා අවසන් සටන දිනුවත් ඔවුන් ලෝක පාපන්දු කුසලාන දිනාගන්නා තෙවැනි අවස්ථාව බවට එය පත්වනු ඇත.

අවසන් පූර්ව වටයේ පරාජිතයන් වන ක්‍රොඒෂියාව හා මොරොක්කෝව අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය ශ්‍රී ලංකා  වේලාවෙන් අද (17) රාත්‍රී 8.30ට කලිෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නරඹන්නන් 45,857ක් ඉදිරියේ පැවැත්වේ.

මෙවර ලෝක කුසලාන අනුශූරයන්ට ඩොලර් මිලියන 30ක් ද තෙවැනි ස්ථානයට ඩොලර් මිලියන 27ක් ද සිව්වැනි ස්ථානයට ඩොලර් මිලියන 25ක්  ද ප්‍රදානය කෙරේ. මෙවර කටාර් ලෝක කුසලාන මුළු ත්‍යාග හා ගෙවීම් මුදලේ එකතුව ඩොලර් මිලියන 440කි.

කෙසේ වුවත් එය 2014 බ්‍රසීලය සත්කාරය දැරූ තරගාවලියට වඩා ඩොලර් මිලියන 96 ක වැඩිවීමකි.

වසර 2006 දක්වා පැවති ලෝක කුසලාන ජයග්‍රාහකයාට ත්‍යාග මුදල ලෙස පිරිනැමුණේ ඩොලර් මිලියන 10 කට අඩු මුදලකි.

 

කටාර් ලෝක කුසලාන (2022) දෙපිලේ ගමන් මග (ආජන්ටිනාව)

(මූලික වටය – සී කාණ්ඩය)
♦ සෞදි අරාබියට එරෙහිව ගෝල 2-1ක පරාජයක්
​♦ මෙක්ෂිකෝවට එරෙහිව ගෝල 2-0ක ජයක්
♦ පෝලන්තයට එරෙහිව ගෝල 2-0ක ජයක්

(අර්ධ අවසන් පූර්ව වටය)
නෙදර්ලන්තයට එරෙහිව දඬුවම් පහර4-3ක ජයක්

(අවසන් පූර්ව වටය)
♦ ක්‍රොඒෂියාට එරෙහිව ගෝල 3-0ක ජයක්

(16 දෙනාගේ වටය)
♦ ඔස්ට්‍රේලියාවට එරෙහිව ගෝල 2-1ක ජයක්
 (ප්‍රංශය)

♦ මූලික වටය (ඩී කාණ්ඩය)
♦ ඕස්ට්‍රේලියාවට එරෙහිව ගෝල 4-1ක ජයක්
♦ඩෙන්මාර්කයට එරෙහිව ගෝල 2-1ක ජයක්
♦ ටියුනිසියාවට එරෙහිව ගෝල 1-0ක ජයක්

 (16 දෙනාගේ වටය) : පෝලන්තයට එරෙහිව ගෝල 3-1ක ජයක්
♦ අර්ධ අවසන් පූර්ව වටය : එංගලන්තයට එරෙහිව ගෝල 2-1 ක ජයක්  

(අවසන් පූර්ව වටය)
මොරොක්කෝවට එරෙහිව ගෝල 2-0 ක ජයක්


 

සැකසුම – නාමල් පතිරගේ


අදහස් (0)

ලොවම නවතින විනාඩි 90 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.