Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලැබුෂේන් - ස්මිත් ද්විත්ව ශතක ලබති
පර්ත් ටෙස්ට් තරගය

ලැබුෂේන් - ස්මිත් ද්විත්ව ශතක ලබති

editorial - 2022 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේදී (1 වැනිදා) ද්විත්ව ශතක ලබාගැනීමට ඕස්ට්‍රේලියාව මානස් ලැබුෂේන් (204) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 200) සමත් වූහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඔවුන් දෙදෙනාගේ අනර්ඝ ඉනිම් හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 598 ක් ලබා ගත්තේය. 

සිවුවැනි කඩුල්ල ලෙස ට්‍රැවීස් හෙඩ් ලකුණු 99 කට දැවී යෑමත් සමග ඉනිම අත්හිටවූ ඕස්ට්‍රේලියානුවෝ, කොදෙව්වන්ට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියහ. ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ක්‍රෙග් බ්‍රැත්වේට් (නොදැවී 18) සහ ටගෙනරීන් චන්ද්‍රපෝල් (නොදැවී 47) දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 74 ක් ලබා සිටියහ. 

කොදෙව් කණ්ඩායමේ හිටපු නායක ෂිව්නරීන් චන්ද්‍රපෝල්ගේ පුත්‍රයා වන ටගෙනරීන්ගේ මංගල ටෙස්ට් තරගය මෙය වන අතර ඔහු අර්ධ ශතකයට තවත් ලකුණු 3 ක් පසුපසින් සිටියි. ඔහුගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. ඉතා මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රැත්වේට් පන්දු 79 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගත්තේ එක් හතරේ පහරක් පමණක් එල්ල කරමිනි. 

පළමු දිනය වූ ඊයේ (30 වැනිදා) කඩුලු 2 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානුවෝ අද දිනයේදී කඩුලු 2 ක් අහිමිකර ගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 305 ක් එක්කර ගත්හ. ලැබුෂේන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 251 ක් එක්කළ ස්මිත්, ඉන් නොනැවතී ට්‍රැවීස් හෙඩ් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 196 ක්ද එක්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

ලැබුෂේන්ගේ ද්විත්ව ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 20 කින් සමන්විත වූ අතර ස්මිත්ගේ ද්විත්ව ශතකයට හතරේ පහර 16 ක් ඇතුළත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ හඩ් පන්දු 95 කින් ලකුණු 99 ක් රැස්කළේ හතරේ පහර 11 ක් සමගිනි. කොදෙව් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ නායක ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 65 කට කඩුලු 2 ක් දවාගත්තේය. 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 598 
(උස්මාන් කවාජා 65, මානස් ලැබුෂේන් 204, ස්ටීවන් ස්මිත් නොදැවී 200, ට්‍රැවීස් හෙඩ් 99, ක්‍රෙග් බ්‍රැත්වේට් 65/2) 

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කිසිවකු නොදැවී 74 
(ක්‍රේග් බ්‍රැත්වේට් නොදැවී 18, ටගෙනරීන් චන්ද්‍රපෝල් නොදැවී 47) 

-036  


අදහස් (0)

ලැබුෂේන් - ස්මිත් ද්විත්ව ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.