Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොනාල්ඩෝ නැතත් පෘතුගාලයට 6-1 ක ජයක්
කටාර් - 2022

රොනාල්ඩෝ නැතත් පෘතුගාලයට 6-1 ක ජයක්

editorial - 2022 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

පළමුවෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් පිලට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව එපා විය. දැන් නොසිතූ දෙයක් සිදුවී තිබේ. රොනාල්ඩෝගේ ජාතික කණ්ඩායම වන පෘතුගාලයටත් රොනාල්ඩෝ නොමැතිව තරග ජයගත හැකිය.

අඟහරුවාදා (6 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී පැවැති ලෝක කුසලාන තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් 11 දෙනාට ඇතුළත් නොවූ නමුත් ස්විට්සර්ලන්තය පරදවා පෘතුගාලය ගෝල 6-1 ක දැවැන්ත ජයක් ලබාගත්තේය.

රොනාල්ඩෝ වෙනුවට මෙම තරගයට ක්‍රීඩා කළ තරුණ ක්‍රීඩක ගොන්සාලෝ රාමෝස් ගෝල ත්‍රිත්වයක් ලබාගනිමින් තරගයේ මහ පෙරළියක් කළේය.

රොනාල්ඩෝ ලෝක කුසලාන තරගාවලියට පැමිණීමට පෙර, සිය ක්‍රීඩා සමාජය වන මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ නව කළමණාකරුවා වන එරික් ටෙන් හැග්ගේ අවධානය දිනාගැනීමට අපොහොසත් විය. ඒ සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටි රොනාල්ඩෝ, පසුව පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයත්, කළමණාකරුවාත් විවේචනය කිරීම නිසා මැන්චෙස්ටර් පිලට රොනාල්ඩෝව එපා විය.

එහෙත් 37 හැවිරිදි පාපන්දු ශූරයා ලෝක කුසලාන තරගාවලිය සඳහා කටාර් බලා එන විටත් ඔහුට මහත් ජනප්‍රියත්වයක් හිමිව තිබිණ.

ඝනා රාජ්‍යයට එරෙහිව පැවැති පළමු තරගයේදීම ගෝලයක් ලබාගත් රොනාල්ඩෝ ලෝක කුසලාන තරගවලි 5 කදීම ගෝල ලබාගත් පළමු වැන්නා විය. එහෙත් එතැන් සිට සියලු දේම රොනාල්ඩෝගේ අවාසියට සිදුවිය.

උරුගුවේ සහ දකුණු කොරියාවට එරෙහිව පැවැති තරග වලදී මහත් ආයාසයෙන් ක්‍රීඩා කළද රොනාල්ඩෝට ගෝල ලබාගත නොහැකි විය. අවසානයේදී පෘතුගාල පුහුණුකරු ප්‍රනාන්දු සැන්ටොස් අසීරු තීන්දුව ගත්තේය. ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී රොනාල්ඩෝ බංකුවේ වාඩිවී සිටියේය.

තරගය ආරම්භ වූ අවස්ථාවේ සිටම නරඹන්නන් “රොනාල්ඩෝ ඕනෑ” යයි මුරගෑවද 75 වැනි විනාඩිය දක්වාම ඔහුට අවස්ථාවක් නොලැබිණ, එහෙත් 75 වැනි විනාඩියේදී, ජාවෝ ෆීලික්ස් වෙනුවට ආදේශ ක්‍රීඩකයකු ලෙසින් රොනාල්ඩෝ පිටියට එන විටත්, පෘතුගාලය ගෝල 5-1 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියේය.

පිටියට පිවිසි ඉක්මනින්ම රොනාල්ඩෝ ගෝලයක් ලබාගත් නමුත් එය නීති විරෝධී සීමාවේ සිට ලබාගත් බැවින් අවලංගු කෙරිණ. ගොන්සාලෝ රාමෝස් ගෝල 3 ක් ලබාගත් අතර පෙපේ, රෆායල් ගුවේරොයිරෝ, සහ රෆායෙල් ලියෝ පෘතුගාලය වෙනුවෙන් ගෝල ලබාගත්හ.

පෘතුගාලයේ මීළඟ තරගය මොරොක්කෝවට එරෙහිව පැවැත්වේ.


අදහස් (0)

රොනාල්ඩෝ නැතත් පෘතුගාලයට 6-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.