
(දමින්ද විජේසූරිය)

තවමත් 15 න් පහළ වයස් කාණ්ඩයේ ක්‍රීඩා කරන නමුත්, ඉදිරිපෙළ පිතිකරුවකු වශයෙන් ඉවසීමේ තිබෙන වටිනාකම මැනවින් පෙන්නුම් කළ රෙහාන් පීරිස්, අන්තර් පළාත් යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කරා කොළඹ දකුණ කණ්ඩායම කැඳවාගෙන ගියේය. වෙළෙඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කොළඹ උතුර කණ්ඩායම ලකුණු 86 කින් පරාජය කළ කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාව අත්කර ගත්හ.
පන්දු 127 කින් ලකුණු 129 ක් ලබාගත් රෙහාන් පීරිස්ගේ ඉනිමේදී ලකුණු 80 ක් ම පැමිණියේ හයේ (10) සහ හතරේ (5) පහර වලිනි. හොඳ පන්දු හමුවේ තැන්පත්ව මුහුණ දුන් රෙහාන්ගේ ඉනිම තනි ලකුණු 39 කින් සහ ද්විත්ව ලකුණු 5 කින් ද සමන්විත වූ අතර දුර්වල පන්දු හමුවේ ඔහු නොබියව පහර දුන්නේය. මුහුණ දුන් පන්දු 127 න් පන්දු 68 ක්ම නිලකුණු පන්දු වූ නමුත් ආරම්භක පිතිකරුවා දැවී යාමට පෙර, 43 වැනි ඕවරයේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 217 ක් විය.
සිය සහායක ආරම්භක පිතිකරුවා ලකුණු 5 කට දැවී ගියද, ළසිරු සඳකැන් (40) සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වූ රෙහාන්, කඩුලු රකින්නා වන ජේසන් ප්‍රනාන්දු සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.
ලකුණු 257 ක ඉලක්කයක් කරා ගිය කොළඹ උතුර පිලේ ගමන ඕවර 47.1 කින් නිමා විය. කඩුලු රකින්නා වූ දුල්නෙත් අගලවත්ත දැවී යාමට පෙර ලකුණු පුවරුව කඩුලු 3 කට 91 ක් ලෙසින් සටහන් වූ නමුත් කොළඹ උතුර පිලේ අවසන් කඩුලු 7 ම ලකුණු 79 කට බිඳ වැටිණ. ජනුල් දම්හිරු කඩුලු 2 ක් දවාගත් අතර සෙසු පන්දු යවන්නෝ කඩුල්ලක් බැගින් දවාගත්හ.
කොළඹ දකුණ පන්දු යවන්නන්ගේ විශේෂත්වය වූයේ ඔවුන් වැඩි වැඩියෙන් නිලකුණු පන්දු යැවීමයි. කොළඹ උතුර ඉනිමේ යැවුණු පන්දු 283 න් පන්දු 199 ක්ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය.
කොළඹ දකුණ - ඕවර 50 කදී කඩුලු 8 ට 256 යි
(රෙහාන් පීරිස් 129, ළසිරු සඳකැන් 40, ජේසන් ප්‍රනාන්දු 19, හිමස්රූ දේශාන් 10, සෙනිත් නෙත්සර 43/2, ළහිරු ලක්මාල් 54/2, දසිත් පෙරේරා 53/2)
කොළඹ උතුර - ඕවර ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 170 යි
(කවිත් ද සිල්වා 16, සදීෂ් සිල්වා 47, යෙනුල දන්තනාරායන 23, දුල්නෙත් අගලවත්ත 11, ශාන් රශ්මික 13, ළහිරු ලක්මාල් 28, ජානුල් දම්හිරු 42/2)


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.