Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීයයෝ සිංගර් ශූරතාව දිනති

රාජකීයයෝ සිංගර් ශූරතාව දිනති

ශනුක අරවින්ද - 2015 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් රග්බි සංගමය මෙහෙයවූ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව සිටිමින් කුසලාන ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ අද (20) සමත් වූහ. ඉසිපතන විදුහලට අනු ශූරතාව හිමිවිය.

රාජකීය විදුහල ලීග් ශූරතාව දිනාගත්තේ වසර තුනකට පසුවය. රාජකීය විදුහල අවසන් වරට 2011 වසරේ ලීග් ශූරතාව දිනා සිටියේය. භානුක ගමගේ මෙහෙය වූ රාජකීය විදුහල් කණ්ඩායම වසර හතරකට පසුව මෙවර ‘බ‍්‍රැඞ්බි’ පළිහ රග්බි ශූරතාව ද දිනා ගැනීමට සමත් විය.

රාජකීය විදුහල සහ ඉසිපතන විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (20* පස්වරුවේ පැවැති අවසන් තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 21-8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
 
ජයග‍්‍රාහි රාජකීය විදුහල් පිල උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය. ඉසිපතන විදුහලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 16-8 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර රාජකීය විදුහල දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කළ ද, ඉසිපතන විදුහල ලකුණු රැස්කිරීමට අපහොසත් විය.  

ප‍්‍රධාන විනිසුරු අරුණ රන්කොත්ගේ මහතාගේ පළමු නළා හඩින් තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදී මීටර 30 ක් පමණ දුර සිට ලැබුණු දඩුවම් පහර ඔවින් ඇස්කි විශිෂ්ට ලෙස සාර්ථක කරගැනීමත් සමග ලකුණු 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කිරීමේ ගෞරවය රාජකීය විදුහල හිමිකර ගත්තේය.

ඩිලාන් ගාල්ලගේ 10 වැනි මිනිත්තුවේදී ක‍්‍රීඩාංගණයේ වම් කෙළවරෙන් සම්පූර්ණ කළ අනගි උත්සාහක දිනුමත් සමගින් ලකුණු 5-3 ක් ලෙස ඉසිපතන විදුහල ඉදිරියට ඇදුණේය. ඉන් විනාඩි 10 ක නිහඩියාවකින් පසුව සුපුන් වර්ණකුලසූරිය සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු 8-5 ක් ලෙස රාජකීය විදුහල නැවතත් පෙරමුණට පැමිණියේය.

දෙපසට දෝලනය වූ තරගය සම තත්ත්වයට පත්කරමින් 23 වැනි මිනිත්තුවේදී ඉසිපතන විදුහලට ලැබුණු දඬුවම් පහර රොහාන් කෝන්ගහවත්ත සාර්ථක කිරීමත් සම`ග ලකුණු පුවරුව 8-8 ක් බවට පත්විය.

රාජකීය විදුහල් ජයග‍්‍රහණයට පළමු පියවර තබමින් උමේෂ් මධුෂාන් 28 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තීරණාත්මක සාධකය බවට පත්විය. ඒ සම`ග ලකුණු තත්ත්වය 13-8 ක් විය.

මෙම තරග වාරයේ රාජකීය විදුහල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු වූ ඔවින් ඇස්කි 32 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ගෝල කණු අතරින් යොමු කිරීමත් සමගින් ලකුණු 16-8 ක් බවට පත්විය.

දෙවැනි අර්ධය වඩාත් තියුණු වූ අතර මිනිත්තු 17 ක් යන තුරු දෙපිලටම ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

රාජකීය විදුහල වෙනුවෙන් සුපුන් වර්ණකුලසූරිය 17 වැනි මිනිත්තුවේදී දෙවැනි උත්සාහක දිනුම ගෝල සීමාවේ තබමින් ලකුණු පුවරුව 21-8 ක් බවට පත්කරමින් ඉසිපතන විදුහල වෙතින් ජයග‍්‍රහණය ඈත් කළේය.

දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ මුහුණ ආවරණය වන මෝටර් සයිකල් හිස් ආවරණයක් කිසිවකු ක‍්‍රීඩාංගණයට විසිකිරීම නිසා කෙටි කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය.

ජයසංඛේත ප‍්‍රදානයට විශේෂ ආරාධිත අමුත්තන් පැමිණ අනු ශූරතා කුසලාන පිරිනැමීමට ඉසිපතන විදුහල් පිලේ නායකයාට අවස්ථා කීපයක්ම ආරාධනා කළ ද නොපැමිණි අතර විනාඩි පහක පමණ කාලයකින් පසුව පැමිණ හෙතෙම අනුශුරතා කුසලාන ලබා ගත්තේය.

ඡයාරූපය : අමිල ප‍්‍රබෝධ


අදහස් (0)

රාජකීයයෝ සිංගර් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.