Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාජකීය ක්‍රීඩකයෝ ‘බ්‍රැඩ්බි’ රග්බි ශූරතාව දිනති

රාජකීය ක්‍රීඩකයෝ ‘බ්‍රැඩ්බි’ රග්බි ශූරතාව දිනති

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අෂේන් ප්‍රනාන්දු සහ හිමන්ත හිරුෂාන් මිනිත්තු හතරක් තුළ සම්පූර්ණ කළ උත්සාහක දිනුම් දෙක නිසා කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී අද (03) පැවැති 73 වැනි ‘බ්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ දෙවැනි අදියර තරගයේදී රාජකීය විදුහල් පිල ලකුණු 13-8 කින් මහනුවර ත්‍රිත්ව විදුහල් පිල පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් රග්බි තරගය වන මෙම තරගය රාජකීය විදුහල ජය ලැබූ 32 වැනි වසර මෙය වේ. ත්‍රිත්ව විදුහල 39 වතාවක් ජය ලබා ඇති අතර තරග දෙකක් සමව අවසන් වී තිබේ. 

රාජකීය විදුහල් ක්‍රීඩකයෝ මෙවර අදියර දෙක අවසානයේ ලකුණු 35-25 ක් ලෙස ලකුණු 10 කින් පෙරමුණ ගැනීමට සමත් වූහ. රාජකීය විදුහල පළමු අදියර තරගය ලකුණු 22-17 කින් ජය ලබමින් මෙම තරගයට පෙර ලකුණු 5 කින් ඉදිරියෙන් සිටියේය.

රාජකිය විදුහල් පිල දෙවැනි අර්ධයේදී සැළසුම වෙනස් කරමින් ඉදිරි පෙළ ක්‍රීඩකයන්ගෙන් තරග පාලනය කරමින් ජයග්‍රහණය කරා ගිය ආකාරය දැකගත හැකි විය.

රාජකිය විදුහලට මීටර 30 ක පමණ දුර සිට ලැබුණු ස්ක්‍රම් අවස්ථාවේදී රාජකීය විදුහල් ක්‍රීඩකයෝ පන්දුව ලබාගෙන වඩාත් බරින් වැඩි වූ ත්‍රිත්ව විදුහල් ඉදිරි පෙළ මීටර 20 ක් පමණ තල්ලු කරමින් ගෝල සීමාවට සමීප වූහ. එම අවස්ථාවේදී ප්‍රොප් ක්‍රීඩක හිමන්ත හිරුෂාන් පන්දුව ලබා ගනිමින් පොකුරෙන් මිදී ගෝල සීමාවේ පන්දුව පතිත කිරීමත් සමඟ ලකුණු පුවරුව 13-3 ක් බවට පත්වීමෙන් ත්‍රිත්ව විදුහලෙන් තරග ගිළිහුණි.

දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී රාජකීය විදුහල් ප්‍රොප් ක්‍රීඩක අෂේන් ප්‍රනාන්දු පොකුරේ සිටියදීම වම් කොඩි කණුව අසළින් පන්දුව ගෝල සීමාවේ පතිත කළේය. එය උත්සාහක දිනුමක් ද යන්න ප්‍රධාන විනිසුරු රොෂාන් ප්‍රනාන්දු මහතා කළ විමසූමෙන් පසුව රූපවාහිනී විනිසුරුවරයා උත්සාහක දිනුමක් බවට සනාථ කළේය.

රාජකීය විදුහල එම උත්සාහක දිනුමත් සමඟ ලකුණු 8-3 ක් ලෙස පළමු වරට ඉදිරියට පැමිණියේය.
ෆුල්බැක් ක්‍රීඩක ශාකීර් නව්‍රෆර් වෙතින් එම උත්සාක දිනුම් දෙකේ ගෝල ප්‍රවර්ථන අසාර්ථක වීමෙන් අතිරේක ලකුණු අහිමිවිය.

ත්‍රත්ව විදුහලේ ප්‍රොප් ක්‍රීඩක අවීෂ ප්‍රියංකර දෙවැනි අර්ධයේ 37 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් එකතු කරමින් ලකුණු පුවරුව 13-8 ක් බවට පත් කළ ද රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ඉතිරි මිනිත්තු තුනේ ග්‍රහණය රඳවා ගැනීමට සමත් වූහ.

පළමු අර්ධය අවසන් වන විට ලකුණු 3-3 ක් ලෙස තරගය සම තත්ත්වයෙන් පැවතුණි.

රාජකීය විදුහලට 18 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුම් අවස්ථාවක් අහිමිවීමෙන් අනතුරුව ලැබුණු දඬුවම් පහර අවස්ථාව ශාකීර් නව්‍රෆර් සාර්ථක කිරීසමත් සමඟ ලකුණු පුවරුව 3-3 ක් ලෙස සමවිය. 

ත්‍රිත්ව විදුහලට හතරවැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර ෆුල්බැක් ක්‍රීඩක ලෂාන් විජේසූරිය සාර්ථක කරමින් 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

මෙම තරගය පැවැති රාජකීය විදුහල් රග්බි පිටිය තරගය ආරම්භ වීමට පෙරම තෙත බරිත තත්ත්වයක පැවැති අතර පළමු අර්ධය අවසන් වන විට දැඩිව මඩ වී තිබුණි. බොහෝ ක්‍රීඩකයන් මඩ ගොහොරුවක බැස්සාක් මෙන් දිස්වූ අතර ඒ හේතුවෙන් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී නව සමිස ඇද තරගයට පිවිසියහ.  

 

රාජකීය - ත්‍රිත්ව ‘බ්‍රැඩ්බි’ රග්බි තරගයේ උණුසුම් අවස්ථා...


අදහස් (0)

රාජකීය ක්‍රීඩකයෝ ‘බ්‍රැඩ්බි’ රග්බි ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.