Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලට

රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලට

editorial - 2023 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

චීනයේ ‘හංජෝ’ නුවර දී සැප්තැම්බර් 23 වැනිදා ආරම්භ වන 19 වැනි (2022) ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව යොදාගත් පරිදි සිංහ ධජය යටතේ සත් සාමාජික රග්බි (පිරිමි) කණ්ඩායම සහභාගි කරවන බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

 එම සංගම් මූලස්ථානයේ දී අද (28) පැවැති හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

 ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා ‘හංජො’ බලා යන සමස්ත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානි නිශාන්ත පියසේන, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු, මෙම තරග සංචාරය සඳහා සහභාගිවන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිල ඇඳුම්, පාවහන් හා ආම්පන්න සපයන ‘ඩී.එස්.අයි.’ (සැම්සන් පුත්‍රයෝ) ආයතනය වෙනුවෙන් එහි අලෙවි ප්‍රධානි කුමුදුනි කන්දප්පා ‘ලොවි’ ආයතනය වෙනුවෙන් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ අසංක ද මෙල් යන මහත්වරු මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

‘හංජෝ’ නුවර දී 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 23 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත් වේ. ඒ සඳහා සහභාගි වන රටවල් 46 ක් ක්‍රීඩා ඉසව් 40ක් සඳහා තරග වදිති.

ශ්‍රී ලංකාව ඉන් ක්‍රීඩා ඉසව් 21 කට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 97 දෙනෙක් නිර්දේශ කර සිටිති. ඔවුන් භාරව පරිවාර නිලධාරීන් හා පුහුණුකරුවන් 44 දෙනෙකු හැරෙන්නට මෙහෙයුම් හා වෛද්‍ය කටයුතු භාර නිලධාරීන් ද ඇතුළුව සංචාරක සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් මුළු සාමාජිකයන් ගණන 154කි. ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියා ලෙස නිෂාන්ත පියසේන මහතා පත්කර තිබේ. ඔහු ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හා නායිකාව ප්‍රකාශ කිරීම තව දින කීපයකට ප්‍රමා ද වන බවයි.

එහි දී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ආසියානු ක්‍රීඩා උළෙලේ සහභාගිත්වය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් කීපයකට පිළිතුරු දෙමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.

‘‘ශ්‍රී ලංකා කොඩියෙන් බැරිනම් වෙන කොඩියකින් හරි ‘හංජෝ  ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා (සත් සමාජික) රග්බි කණ්ඩායම සහභාගි වෙනවා. ඒ පිළිබඳව ගැටලුවක් පැන නැගී නෑ.’’

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලබා ගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරග සංචාරයට සූදානම්ව සිටින බවයි.

ඇමැතිවරයා මේ ප්‍රශ්නය නිරාකරණය කරලා ඉවරයි. ප්‍රශ්නයක් වෙලා තිබ්බ සංචිතයේ පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණ වෙන් කරලා දෙන්නත් ඇමැතිවරයා මේ වනවිට කටයුතු කරලා තිබෙනවා.’’ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රශ්නයට තුඩුදුන් ආසන්නතම සිදුවීම වූයේ හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි (පිරිමි) තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇතැයි ප්‍රකාශ වීමයි. ඒ පසුගිය අගෝස්තු 22 වැනිදා ප්‍රකාශයට පත් කළ තරගාවලියේ කුසපත් ඇදීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කළ බව නිවේදනය වීමයි.

එහිදී කණ්ඩායම් කාණ්ඩ ගත කිරීමේ දී ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටි ‘ඒ’ කාණ්ඩයෙන් ඔවුන් ඉවත්කර ඒ වෙනුවට නේපාලය ඇතුළත් කර තිබුණි. ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලන කටයුතු අත්හිටුවීමට අන්තර් ජාතික රග්බි සංගමය ගෙන තිබෙන තීරණය හමුවේ මේ වනවිට රටේ රග්බි ක්‍රීඩාව පවත්වාගෙන යාම ව්‍යාකූල තත්වයකට පත්ව තිබීම ‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙල අරබයා පැන නැගී තිබෙන මෙම ගැටලුවයි.

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුව අද මාධ්‍ය හමුවේ දී කළ ප්‍රකාශයන්ට අනුව ආසියානු ක්‍රීඩා සත් සාමාජික රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව තවදුරටත් ගැටලුවකින් තොරව පසු වේ.

එහි සෙසු රටවල් වන්නේ හොංකොං හා පිලිපීනයයි. සැප්තැම්බර් 24 සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන හංජෝ ආසියානු ක්‍රීඩා රග්බි (සත් සාමාජික) තරගාවලියට රටවල් 12ක් සහභාගි වේ.

අද ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානි නිෂාන්ත පියසේන මහතා ප්‍රකාශ කළ පරිදි ක්‍රීඩා උළෙලට එක් වන ශ්‍රී ලංකා විස්සයි - 20 ක්‍රිකට් සඳහා වෙන් කළ හෝටලයක ලැගුම් ගනු ඇත.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ඒ ඒ ක්‍රීඩා ඉසව්වලට අදාළ කණ්ඩායම් තරග ඉසව්  ආසන්න වන විට දී මෙරටින් පිටත්ව යන අතර  ආපසු දිවයිනට පැමිණීම ද ඉසව් අවසන්ව දින දෙකක් ඇතුළත දී සිදු කරන ලෙස සත්කාරක චීන තරග සංවිධායකයන්ගෙන් උපදෙස් ලැබී තිබේ.

එක් අයෙකුට ගුවන් ප්‍රවේශ පත්‍රයක් සඳහා අවම රුපියල් ලක්ෂ තුනක් වැයවේ. සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ හංජෝ නුවර නවාතැන් හා අනෙකුත් පහසුකම් සඳහා ඩොලර් 75000ක් හෙවත් රුපියල් දෙකෝටි හතළිස්තුන් ලක්ෂයකට ආසන්න වියදමක් දැරේ.


අදහස් (0)

රග්බි පිල ආසියානු ක්‍රීඩා උළෙලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.