Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි ක්‍රීඩාව අවිනිශ්චිත අන්ධකාරයක

රග්බි ක්‍රීඩාව අවිනිශ්චිත අන්ධකාරයක

editorial - 2022 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලියාපදිංචිය ‘තාවකාලිකව අත්හිටුවීමට’ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ගත් හදිසි තීරණයත් සමගින් මේ වසරේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මෙන්ම චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේදීත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සහභගි වීමට තිබෙන අවස්ථාව අහිමි වීමේ අවදානමක් ඇතිවී තිබේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ එහි සංශෝධන අනුව, 32 (ආ) සහ 33 වගන්ති යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල මත එවන් ‘තාවකාළික අත්හිටුවීමක්’ කළ හැකිය.  එනමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව, ආසියානු ඔලිම්පික් කමිටුව හෝ අනෙකුත් අන්තර්ජාතික ක්‍රීඩා පාලක සංගම් මෙවන් මැදිහත්වීම් නොඉවසති.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා සෙනසුරාදා (02 වැනිදා) පියවර ගෙන ඇතත් ඊයේ (03 වැනිදා) දහවල් වන තුරුත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත හේතුවෙන් රග්බි බලධාරීන්ට දන්වා නැත. ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පරිපාලනය පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘නිසි බලධාරියා’ ලෙසින් පත්කරනු ලැබ ඇත.

“මම ඇත්තටම හිතුවේ ඒක අප්‍රේල් 1 වැනිදාට කෙරෙන විහිළුවක දිගුවක් කියලයි. ඒ හින්දා මම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතාගෙන් විමසීමක් කළා. එයා කිව්වේ ලබන සඳුදා වෙනකොට තොරතුරු පහදලා දෙන්නම් කියලයි....”

“කොහොම වුණත් අපට පනවලා තියෙන තහනම සම්බන්ධයෙන් තවමත් ලිඛිතව අපට දන්වලා නෑ... අපට ලියුමක් ලැබුණාම ඒ අනුව අපි අදාළ පියවර ගන්නවා” යයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා ඊයේ (03 වැනිදා) දහවල් පැවසීය.

රග්බි නිලධාරීන් සැක පහළ කරන්නේ වසර දෙකකට පමණ ඉහතදී පැවැති, බස්නාහිර පළාත් රග්බි සංගමයට අදාළ නීතිමය ගැටළුවක් දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවයි. වසර 2019 දී තහනම් කරන ලද රග්බි සංගම් තුනක් නැවතත් ශ්‍රී ලංකා රග්බි ආයතනයට එකතු කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය ලිඛිත තොරතුරු ඉල්ලා සිටියේය. එම තොරතුරු නියමිත පරිදි අමාත්‍යංශ ලේකම්වරයාට බාරදුන් බව රිස්ලි ඉල්ලියාස් මහතා කියයි. මෙම ප්‍රශ්නය පසුගිය වසර වන විටත් විසඳී තිබූ බවද ඉල්ලියාස් මහතා වැඩිදුරටත් කියයි.

“මෙතන මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා... ඒක මොකක්ද කියලා නිශ්චිතවම කියන්න අපට බෑ. ඒත් අමුතු දෙයක් නම් වෙන බවක් දැනෙනවා” යයි නම සඳහන් කිරීමට අකමැති වූ නමුත් රග්බි ක්‍රීඩාව සමග දීර්ඝ කාලයක් සම්බන්ධතා පැවැති අයෙක් පැවසීය.

රටේ පවතින නොසන්සුන් වාතාවරණය හේතුවෙන් මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. පිල අතර ඉරිදා පැවැත්වීමට නියමිතව තිබූ  රග්බි තරගය වෙනත් ස්ථානයකට ගෙන යාමට රග්බි ආයතනය අකමැත්ත පළකිරීමත් රග්බි සංගමය තහනම් කිරීමට හේතුවක් විය හැකි බවද නම් හෙළිකිරීමට අකමැති රග්බි නිලධාරීහු කියති. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතණුවන් මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාගේ බාලම සොහොයුරා වන රෝහිත රාජපක්‍ෂ සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි. රෝහිත රාජපක්‍ෂ සී.එච්. කණ්ඩායමේ පුහුණුකරුවාද වෙයි.

සී.එච්. පිල සහ මහනුවර පිල අතර තරගය වැළිසර නාවික හමුදා ක්‍රීඩාංගණයට මාරු කළ නමුත් සෙනසුරාදා ඇඳිරි නීතිය පැනවීමට පෙරම මෙම තරගය ලබන සතියට කල්දැමූ බව මහනුවර ක්‍රීඩා සමාජය සිය නිල මුහුණු පොතේ සටහන් කළේය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ සී.ආර්. පිල අතර සෙනසුරාදා (02 වැනිදා) සී.ආර්. පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ පළඟ ශූරතා තරගයෙන් නාවික හමුදාව අවසන් මොහොතේදී ඉවත් වීමට තීරණය කළේ රටේ “පවතින තත්ත්වය සම්බන්ධයෙන් ආරක්‍ෂක සේවා සාමාජිකයන් සූදානමින් සිටිය යුතුය” යයි ලිඛිතව දන්වා සිටිමිනි. එම ලිපිය ඉදිරිපත් කිරීමෙන් පැයකට පමණ පසුව දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරන ලදි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා මෙන්ම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරා ද වන යෝෂිත රාජපක්‍ෂ, නාවික හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කරයි. සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය තමන්ගේ අවසන් රග්බි තරගය බවත්, තමන් ඉදිරියේදී රග්බි පරිපාලනයට සම්බන්ධ වන බවත් යෝෂිත රාජපක්‍ෂ පසුගිය සතිය අවසානයේදී ප්‍රකාශ කර තිබිණ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අප්‍රේල් 1 වැනි දින නිකුත් කරන ලද EOG 04 - 0008 යොමු අංකය සහිත ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අමාත්‍යවරයා විසින් “රග්බි ක්‍රීඩාව සම්බන්ධ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. රග්බි සංගමයේ පරිපාලන හා අනෙකුත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙන්ම අදාළ නිලවරණය කැඳවීමට සහ පැවැත්වීමට නියමිත බලධාරියා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා 2022.04.01 දින සිට පත් කරනු ලැබේ. එමෙන්ම එම ජාතික ක්‍රීඩා සංගමයේ ක්‍රියාකාරකම් තාවකාලිකව පවත්වාගෙන යනු ඇත” යයි එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ එහි සංශෝධන අනුව, 32 (ආ) සහ 33 වගන්ති යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල මත කරන ලද මෙම “තාවකාලික අත්හිටුවීම” ක්‍රියාත්මක වන්නේ මන්ද, නැතහොත් කුමන පදනමක් මතද යන්න ගැසට් නිවේදනය මගින් පැහැදිලි කර නොමැත.

කොරෝනා වසංගතය සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අවපාතය මෙන්ම කොරෝනා සමයේදී වරින් වර සිදුවූ අගුලු දැමීම් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි ආයතනය වසර දෙකක කාලයක් ගතකළේ මහත් අපහසුතා මධ්‍යයේය. එම කාලයේදී රග්බි ක්‍රීඩාවේ නිරන්තර අනුග්‍රාහකයන් වූ ‘ඩයලොග්’ සමාගම ද රග්බි සංගමයෙන් ඉවත්විය. එවන් තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකා රග්බි ආයතනය ක්‍රීඩා ඇමතිවරයාගේ තීරණය හේතුවෙන් අන්ද මන්දව සිටී.
 
තත්ත්වය එසේ තිබියදී, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරඟ, දැනට පැවැත්වෙන දේශීය තරඟ සහ ඒවා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු තවත් බොහෝ දේ පිළිබඳව වෙහෙසීමට රග්බි ක්‍රීඩාවේ නිසි බලධාරියා වශයෙන් පත්කරන ලද අමල් එදිරිසූරිය මහතාට සිදුව තිබේ.

 


අදහස් (1)

රග්බි ක්‍රීඩාව අවිනිශ්චිත අන්ධකාරයක
  • Sunil Monday, 04 April 2022 01:09 PM

    අනවශ්‍ය දේශපාලන ඇඟිලිගැසීම් නිසා ක්‍රීඩාවත් විනාශයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.