සිය 24 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් කිරුළ හඹා යන සෙරීනා විලියම්ස් එක පිට එක වට දෙකකින් ලකුණු 6-2 ක් සහ 6-1 ක් ලෙස යුක්රේනයේ යොවුන් ක්‍රීඩිකා ඩයනා යැස්ට්රිම්ස්කා ඉවතට තල්ලු කරමින් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් 16 දෙනා අතරට අද රිංගා ගත්තාය. මේ අතරවාරයේදී හත් වතාවක් ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනා ඇති සෙරීනාගේ වැඩිමල් සොයුරිය වන වීනස් විලියම්ස් පිට පිට වට දෙකකින් ලකුණු 2-6 ක් සහ 3-6 ක් ලෙස ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ ක්‍රීඩිකාව වන රුමේනියාවේ සිමෝනා හීල්ප් හමුවේ පරාජයට පත්වූවාය.
ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අතරේ 57 වැනි තැන පසුවූ ඩයනා පරාජය කළ සෙරීනාට අවසන් 16 දෙනාගේ වටයේදි තරග වැදීමට සිදුවන්නේ අද සිය සොයුරිය ගෙදර යැවූ සිමෝනා හීල්ප් සමගය.
මීට අවුරුදු දෙකකට පෙර, මාස දෙකක ගැබිනියක් ලෙස පැමිණ සිය 23 වැනි ග්රෑන්ඞ් ස්ලෑම් කුසලානය දිනාගත් 37 හැවිරිදි සෙරීනා මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල 16 වැනි තැන සිටියත්, මෙවර සිය අටවැනි ඕස්ට්‍රේලියානු ටෙනිස් කිරුළ දිනාගනු ඇතැයි බුකීකරුවන්ගේ ජනප්‍රියතම ක්‍රීඩිකාව බවට පත්වී සිටින්නීය.
“මට පුළුවන් උපරිම අයුරින් ක්‍රීඩා කරලා ඉහළම දස්කම් දක්වන්නයි මම මෙහේ ආවේ.‘ සෙරිනා කීවාය.
වසර 1999දී ඇය අමෙරිකානු විවෘත ටෙනිස් පිටියේදි සිය මංගල ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතාව දිනාගනිද්දී අද ඇගේ ගොදුර බවට පත්වූ යැස්ට්රිම්ස්කා ඉපදිලාවත් නැත. 18 හැවිරිදි යොවුන් ක්‍රීඩිකාව පරාජයෙන් පසුව කඳුළු සලන්නට පටන් ගත් අතර “අඬන්න එපා. ඔයා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළා. ඔයාට කවදහරි හරියයි” කියමින් ඇය සැනසීමට සිදුවූයේද සෙරිනාටය.
“ඇය ඉතා හොඳින් තරග වැදුණා කියලයි මං හිතන්නේ” සෙරීනා මේ යොවුන් ක්‍රීඩිකාව ගැන එසේ කීවේ පළමු වටයේදී ඇය දෙවතාවක්ම සෙරිනාට දරාගැනිමට නොහැකි පහරවල් කිහිපයක්ම එල්ල කරමින් ක්‍රීඩාලෝලින්ගේ අත්පොළොසන් හඬට ලක්වීම සිහිපත් කරමිනි.
පළමු වටයේදී ඇය සෙරීනාට එවැනි තර්ජනයක් ගෙන දුන්නත්, සිය බලසම්පන්න ප්‍රහාරයෙන් යොවුන් ක්‍රීඩිකාව දණ ගැස්වූ සෙරීනාට ඒ වටය ජයගැනීමට ගතවූයේ මිනිත්තු 27ක් පමණි.
සැකසුම : මොහාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.