Last Update  :  2026-01-08 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේ ඉන්න කණ්ඩායමට අත්දැකීම් හොඳටම ඇති

මේ ඉන්න කණ්ඩායමට අත්දැකීම් හොඳටම ඇති

editorial - 2026 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අඩු වැඩි වශයෙන් වෙනස්වී සිටින නමුත් පසුගිය වසර 5 ක් තිස්සෙම් ඔවුන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති බවත්, පාකිස්තානයට එරෙහිව තරග කිරීමට පමණක් නොව, ලෝක කුසලාන තරගාවලියේදීත් සාර්ථක දස්කම් අතරට පැමිණීමට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන අත්දැකීම් සහ පළපුරුද්ද හොඳටම ප්‍රමාණවත් බවත් නායක දසුන් ශානක කියයි. පාකිස්තානයට එරෙහිව විස්සයි-20 තරග තුනක තරගාවලියකට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ (6 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති මාධ්‍ය හමුවේදී එසේ කියා සිටියේය. 

“මම 2021 ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය දරන වෙලාවේ කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන් වැඩි දෙනෙක් මෙතන ඉන්නවා. මේ ක්‍රීඩකයන්ට තියෙන අත්දැකීම් හොඳටම ඇති මේ තරගාවලියෙදිත් ඉදිරියේදීත් හොඳට සෙල්ලම් කරලා හොඳ තැනකට එන්න පුළුවන්” යයි ද දසුන් ශානක කීවේය. 

නිමා වූ පාකිස්තානු සංචාරයෙන් පසු, මීළඟ විස්සයි-20 ලෝක කුෂලාන තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්කරන ලද දසුන් ශානක ඇත්තේ අසීරු අභියෝගයකි. එනම් මේ වන විට අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අතරේ 08 වැනි ස්ථානයට වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එතැනින් ඉහළට එසවීමයි. 

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ දස්කම් කෙතරම් දුරට අස්ථාවර ද යත් 2025 වසරේදී විස්සයි-20 අන්තර්ජාතික තරග 17 කට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එයින් ජයගෙන ඇත්තේ තරග 8 ක් පමණි. 

පසුගිය තරග සම්බන්ධයෙන් දසුන් ශානක කීවේ මෙවන් කතාවකි. 

“පසුගිය තරගාවලි වලදී අපට පොඩි පොඩි අතපසුවීම් කිහිපයක් වුණා. ඒ අතපසුවීම් මඟහරවාගෙන ලෝක කුසලාන තරගාවලියට හොඳින් සූදානම් වෙන්න මේක අවස්ථාවක් කියලා මම හිතනවා”

“ඇත්තටම පසුගිය තරගාවලි කීපය ගත්තොත් ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන් ගොඩාක් ලකුණු ලැබුණා. මම නායකයෙක් විදිහටත්, මැද පෙළ පිතිකරුවෙක් විදිහටත් මේ තරගාවලි දෙකේදීම මැද පෙළ පිතිකරුවන් හොඳ දක්‍ෂතා දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා” යයි ද ශ්‍රී ලංකා සීමිත ඕවර නායකයා පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම දින කිහිපයක් තිස්සේ දඹුල්ලේදී පුහුණුවීම් කරමින් සිටි නමුත් ඊයේ සවස් යාමයේදී ඇතිවූ වර්ෂාව නිසා පුහුණුවීම් කිරීමට බාධා ඇතිවිය. 

“මේ තරගාවලියට අපි හොඳින් සූදානම් වුණා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණා මේ තරගාවලියට හොඳ (හොඳින් ලකුණු ලබාගත හැකි) තණතීරු සකස් කරන්න. ඒත් වර්ෂාවෙන් කොයි ආකාරf්ය බලපෑමක් ඇතිවේවිද කියා මා දන්නේ නෑ”

“තණතීරු ගැන හොඳ අවබෝධයක් තිබුණත්, පවතින තත්ත්වයට අනුගත වෙලා සෙල්ලම් කරන්න වේවි” යයි ද දසුන් ශානක පැවසීය. 

පාකිස්තානු නායක සල්මන් අලි අඝා පවසන්නේ ලෝක කුෂලාන තරගාවලියේදී පාකිස්තානු පිලේ සියලුම තරග ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේදී වන බැවින් මෙම තරගාවලිය තමන්ට ලැබෙන හොඳ අවස්ථාවක් බවයි. 

“අපි වසර කීපයක් තිස්සේම ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. ඒ නිසා මෙහේ තත්ත්වයන් ගැන අපි නොදන්නවාම නෙමේ.. ඒ කොහොම වුණත්, ලෝක කුසලාන තරගාවලියට ඉස්සරවෙලා මෙහි ඇවිදින් තරගාවලියකට සහභාගි වෙන්න ලැබීම ස්ථිර වශයෙන්ම වාසිදායක තත්ත්තවයක්” යයි ද පාකිස්තානු නායකයා පැවසීය. 

බාබර් අසාම්, හාරිස් රවුෆ්, ශහීන් ෂා අෆ්රීඩි සහ මොහොමඩ් රිස්වාන් තවමත් ඕස්ටේ්‍රලියාවේදී බිග් බෑෂ් තරගවලට සහභාගි වෙමින් සිටින  බැවින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් පාකිස්තානු නායක සල්මන් අඝා එතරම් බරපතළව නොසිතයි. 

මෙම තරගාවලිය සඳහා එකිනෙකට වෙනස් ක්‍රීඩක සංයුතීන් අත්හදාබැලීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකිරීමට නායක දසුන් ශානක මැළිකමක් දක්වයි. 

“ක්‍රීඩක සංයුතීන්වල නම් එච්චර ලොකු වෙනස් කමක් වෙන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාවේදී සෙල්ලම් කරන වෙලාවලදී අපි භාවිතා කරපු ක්‍රීඩක සංයුතියක් තිබුණා... ඒ ඒ තැන්වලට වෙනස් වෙනස් ක්‍රීඩකයන් යොදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ” යයි කී දසුන්.... 

“අකෙත් අතට අපිටත් වගකීමක් තියෙනවා ක්‍රීඩකයන්ට සාධාරණ අවස්ථාවක් දෙන්න. මොකද මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී නිසා. ඒත් එක් එක් ක්‍රීඩකයන් කොයි වගේ ශක්තිමත් තත්ත්වයක ඉන්නවාද කියන එක ගැන බලන්න ඕනා...”

“කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පිරිසම, එංගලන්ත තරගාවලියට යොදාගන්න තමයි අපේ බලාපොරොත්තුව” යයි ද පැවසීය. 

මෙම තරගාවලියට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹදී සහ දඹුල්ලේදී පුහුණු තරග දෙකකට සහභාගි විය. එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණේ 7 වැනි ඕවරයේ සිට 15 වැනි ඕවරය දක්වා ලබාගන්නා ලකුණු සංඛ්‍යාව වැඩි කිරීමත්, ප්‍රතිවාදීන්ට දෙන ලකුණු සංඛ්‍යාව අඩු කිරීමත් පිළිබඳවය. 

“ධනංජය ගොඩක් අවස්ථාවලදි පිටියට යන්නේ පීඩනය වැඩිම වෙලාවල. ඒ වගේ වෙලාවට හතරේ පහරක් නැත්නම් හයේ පහරක් ගහන්න අමාරුයි. අපි ඒ ගැන එයත් එක්ක කතාවෙලා තියෙනවා. අනෙක් අතට බැලුවාම එයාට (පන්දු යවන්න) ඕවර දෙක තුනක් දෙන්නත් පුළුවන්. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවෙදි ඒක ඉතාමත් වාසිදායක තත්ත්වයක්. ඒත් හොඳම දේ තමයි එයාගේ පිතිහරඹ රටාව වෙනස් කරලා තියෙන එක” යයි ද ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා සම්බන්ධයෙන් දසුන් ශානක පැවසීය. 


අදහස් (0)

මේ ඉන්න කණ්ඩායමට අත්දැකීම් හොඳටම ඇති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.