Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙසී අවසන් තරගයෙන් සමුගැනීමට සැරසෙයි
කටාර් - 2022

මෙසී අවසන් තරගයෙන් සමුගැනීමට සැරසෙයි

editorial - 2022 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ලෝක කුසලාන අනුශූරයන් වන ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල 3-0ක  පහසු ජයක් වාර්තා කළ ආජන්ටිනාව ඉරිදා (18) පැවැත්වෙන  ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.  ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් හයවැනි අවස්ථාව මෙයයි.

පාපන්දු ක්‍රීඩාවේ දියුණුතම ලතින් ඇමෙරිකානු රාජ්‍යයේ මෙවර උත්සාහය වසර 1986 න් පසුව ඔවුනට ලෝක කුසලාන හිමිකර ගැනීමය.  ආජන්ටිනාව වසර 2014 බ්‍රසීලය සත්කාරය දැරූ ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට තේරුණත් ජර්මනියට පරාජයවීමෙන් ඔවුන්ගේ කුසලාන අපේක්‍ෂා එවරත් බිඳ වැටුණි.

පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ ලුසායිල් ක්‍රීඩාංගණයට රැස්වූ 88,966 දෙනෙකු ඉදිරියේ සූරවීර දස්කම් පෑ ආජන්ටිනා කණ්ඩායම ක්‍රොඒෂියාව පරාජය කිරීමෙන් පසු නායක ලයනල් මෙසී පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ එළඹෙන ලෝක කුසලාන අවසන් මහ තරගය තම දිවියේ සහභාගි වන අවසන් ලෝක කුසලාන තරගය බවයි.

ලෝකයේ කීර්තිමත්ම පාපන්දු ක්‍රීඩකයා බවට ද වරෙක පත්ව සිටි මෙසීගේ  ‘කිරුළ’ සාධාරණ  බව මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ඔහු ආ ගමනෙන් පැහැදිලිය.  35 හැවිරිදි වියේ පසුවන මෙසී ඉරිදා සහභාගි වන අවසන් තරගය ඔහුගේ ජාත්‍යන්තර තරග දිවියේ 172 වැනි තරගයයි. ගෝල 96 ක් එහිදී ඔහු රැස්කර තිබේ. ඒ අතර ලෝක කුසලාන තරගාවලි හයකට ක්‍රීඩා කිරීමෙන් ඔහු මේ දක්වා  ලෝක කුසලාන ගෝල 11ක් රැස් කිරීමට ද සමත්ව තිබේ.

ලයනල් මෙසී පෙරේදා තරගයේ දී දඬුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කර 34 වැනි විනාඩියේ දී වාර්තා කළ ගෝලය ක්‍රොඒෂියාවේ අපේක්‍ෂා බිඳ වැටීමේ ආරම්භය විය. ඒ සමගම මෙසී මෙතෙක් කටාර් ලෝක තරගාවලියේ ගෝල පහක් රැස් කරමින් ප්‍රංශයේ කයිලියන් බාපේ හා සම තැන් ගත්තේය.  ඒ අතර ජුලියන් ඇල්වරේස් 39 වැනි විනාඩියේ දී රැස් කළ ගෝලය ක්‍රොඒෂියාව කටාර් ලෝක කුසලාන අවසන් තරගයෙන් තවත් ඈතට තල්ලුකර දැමීය.

මෙම ක්‍රීඩකයා එයින් නොනැවතී 69 වැනි විනාඩියේ දී රැස් කළ සිය දෙවැනි ගෝලය ඔහුට පෞද්ගලිකව මෙතෙක් තරගාවලියේ හතර වැනි ගෝලය උදාකර දුන්නේය. ක්‍රොඒෂියාව මෙම තරගයේ දී විශාලතම අවාසිය වූයේ ක්‍රීඩක මාරියෝ මැන්ඩ්සුකිත් විනිසුරු වෙතින් රතු කාඩ්පත ලබා පිටියෙන් පිටමංවීමට සිදුවීමෙන් 35 වැනි විනාඩියේ සිට ඔවුන්ට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවීමයි.

මෙම තරගයේ දී ක්‍රොඒෂියානු කණ්ඩායම කෙතරම් කළබලයට පත්ව ආදේශන සෙවීමට උත්සුක වූයේ ද යත් ඔවුන්ගේ සුපිරි ක්‍රීඩක ලුකා මොඩ්රික් ද 86 වැනි විනාඩියේ දී පිටියෙන් ඉවත් කර ගත්තේය. 37 හැවිරිදි මෙම ක්‍රීඩකයාගේ අවසන් ලෝක කුසලාන තරගය බවට පත්ව ඇත්තේ සෙනසුරාදා (17) පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීමේ තරගයයි.

පරාජයෙන් පසුව ක්‍රොඒෂියාවේ පුහුණුකරු ස්ලැට්කෝ ඩැලික් පැවසුවේ දඬුවම් පහරක් ආජන්ටිනාවට පිරිනැමීමට ගත් තීරණය මතභේදාත්මක වුවත් තමන් අවසන් තරගයට තේරුණු ආජන්ටිනාවට සුභ පතන බවයි.  

ආජන්ටිනාව කටාර් ලෝක කුසලාන මූලික වටයේ සිය ආරම්භක තරගයෙන් සෞදි අරාබියාවට එරෙහිව ගෝල 2-0 ක ඓතිහාසික පරාජයක් ලැබීමේ අවමානය ඔවුන් අවසන් තරගයට පිවිසීමෙන් දුරුකර ගැනීමට මේ වනවිට සමත්ව තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය, ප්‍රංශය හා මොරොක්කෝව අතර, ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (15) අලුයම12.30 ට ලුසායිල් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබේ. එහි ජයග්‍රාහකයා ඉරිදා ආජන්ටිනාව සමග අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

එහි පරාජිතයාට අනතුරුව සිදුවන්නේ සෙනසුරාදා පැවැත්වෙන තෙවැනි ස්ථානය තේරීමේ තරගයට ක්‍රොඒෂියාව හා තරග වැදීමටය.

- 223


අදහස් (0)

මෙසී අවසන් තරගයෙන් සමුගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.