Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලයනල් මෙසී (වමේ) සහ අාර්ජන් රුබෙන්
ලතින් අමෙරිකාව සහ යුරෝපය අතර තරගයක් බවට පත්වී ඇති මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව තරග වටයේ දෙවැනි තරගයට ආජන්ටිනාව සහ නෙදර්ලන්තය ලහි ලහියේ සූදානම් වෙමින් සිටිති.
ලබන බදාදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1.30ට ඇරැඹෙන මේ තරගය පැවැත්වෙන්නේ සාඕ පාඔලෝ නුවර කොරින්තියන්ස් ක්‍රීඩාංගණයේදීය.
පසුගිය තරගමාලාවේ අනුශූරයන් වන නෙදර්ලන්තය ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පිට පිට දෙවැනි වරටය. එහෙත් ආජන්ටිනාව මේ එක්වන්නේ වසර 24කට පසුවය.
තරගමාලාවේ ආරම්භයේ සිටම ලයනල් මෙසීගේ කරමත පැටවී තිබූ ආජන්ටිනාවේ වගකීම පසුව එක් එක් ක්‍රීඩකයන් සමසේ බෙදා ගන්නා අයුරු දිස්වීමෙන් ඔවුන්ගේ සාමුහික ක්‍රීඩා රටාව ඉහළ නැංවී ඇති බව ජගත් පාපන්දු විචාරකයෝ පවසති.
එහෙත් ආජන්ටිනා කඳවුරේ කණගාටුවට කරුණක්ව ඇත්තේ ඔවුන්ගේ මැදපෙළ ක්‍රීඩක ඒන්ජල් ඩි මරියාට ආබාධයක් මත මේ තරගයට සහභාගිවීමට නොහැකිවීමය. ඔහුගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශයේ ඇතිවූ මාංශපේශී ඉරීමක් නිසා තරගමාලාවෙන් ඉවත්වීමට ඔහුට සිදුවී ඇතැයි වාර්තා වේ. එය එක් අතකින් මෙසීගේ උරමතට වැඩි පීඩනයක් වැටෙන කරුණකි. අනිත් අතට වැඩි පීඩනයක් ලබාදී මෙසීගේ ක්‍රීඩා රටාවට බලපෑම් එල්ල නොකිරීමට තරම් ප්‍රවේශම්සහගතව ක්‍රීඩා කළ ආජන්ටිනාවට එල්ල වූ මරු පහරකි.
නමුත් ආරම්භයේ සිටම සාමුහික ක්‍රීඩා රටාවෙන් යුතුව තරග වැදුණු නෙදර්ලන්තය සියලු තරගවල දී දැක්වූ දස්කම් ඉහළ තත්ත්වයක තිබූ බැවින් ආජන්ටිනාව හමුවේ ඇත්තේ සුලුපටු අභියෝගයක් නොවේ. නෙදර්ලන්තයේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් තරගමාලාව පුරාම කැපී පෙනුණු අතර මෙතැන් සිට සිය විජ්ජාකාරී ක්‍රමෝපායන් වැඩිපුර භාවිතා කිරීමට නෙදර්ලන්තයට මේ තරගයේදී සිදුවනු ඇත.
කොස්ටරිකා කණ්ඩායම සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දමා දැල් කණුව වෙතට පන්දුව රැගෙන යාමට නෙදර්ලන්තයේ සුපිරි ක්‍රීඩක අර්ජෙන් රුබෙන්, නායක රොබින් වැන් පර්සි සහ වෙස්ලි ස්නයිජර් දැක්වූ දස්කම් මත ආජන්ටිනාවේ ක්‍රීඩකයන්ට ගෝල රැස් කිරිමට මෙන්ම ප්‍රතිවාදීන්ගෙන් සිය කණ්ඩායමේ දැල ආරක්ෂා කරගැනීමට ද එක ලෙස සටන් වැදීමට සිදුවී තිබේ.
දැල් රකින්නන් අතරින් වඩා ඉදිරියෙන් සිටින්නේ නෙදර්ලන්තයේ ටිම් ක්රූල්ය. ඔහු කොස්ටරිකා කණ්ඩායම සමග පැවැති තරගයේ අතිරේක දැල් රකින්නා ලෙස කටයුතු කරමින් ජයග්‍රහණය තීරණය වූ දඬුවම් පහර දෙකක් සාර්ථකව රැක ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට මග පාදා දුන්නේය.
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් පූර්ව තරගය ලොව වේගවත්ම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස සැලකෙන නෙදර්ලන්තයේ අර්ජෙන් රුබෙන් සහ ලොව විශිෂ්ටතම ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙස හඳුන්වන ලයනල් මෙසී අතර සටනක් වනු ඇතැයි ද විචාරකයෝ දැනටමත් අනාවැකි පළ කර තිබේ. එහෙත් පසුගිය තරග කිහිපය පුරා ආජන්ටිනාවේ ආරක්ෂක වළල්ල ඉතා ශක්තිමත්ව තිබූ අතර එය මේ තරගයේදිත් පවත්වාගැනීමට ඔවුන්ට හැකිවුවහොත් ප්‍රතිවාදීන්ගෙන් සිය දැල ආරක්ෂා කරගන්නා ගමන් මෙසීගෙන් ගෝලයක් දෙකක් නිසැකවම බලාපොරොත්තු විය හැකි බව ද විචාරකයෝ පෙන්වා දෙති.
2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් තරගයට බ්‍රසීලය හා ආජන්ටිනාව පැමිණෙනු ඇතැයි උදම් අනන ලතින් අමෙරිකානු රටවල ක්‍රීඩාලෝලීන්ට මෙන්ම අවසන් තරගයට නෙදර්ලන්තය හා ජර්මනිය පැමිණෙනු ඇති බවට අනාවැකි පළ කරන යුරෝපා රටවල ක්‍රීඩාලෝලීන්ට ද සතුට සැමරීමට ඇත්තේ දිනයක කාලයක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.