Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුරලිදරන් විශිෂ්ටතමයන්ගේ නාමාවලියට

මුරලිදරන් විශිෂ්ටතමයන්ගේ නාමාවලියට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් ඇතුළත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සකස් කරනු ලබන නාමාවලියට ඇතුළත් කරගන්නා ලද පළමු ශ්‍රී ලාංකිකයා වන මුත්තයියට මුරලිදරන්ට ඒ වෙනුවෙන් වන නිල සිහිවටනය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා විසින් ලන්ඩනයේදී පිරිනමන ලදි. ශ්‍රී ලංකා පිලේ හිටපු දඟ පන්දු  යවන්නා වන මුත්තයියා මුරලිදරන් පසුගිය වසරේදී නිල වශයෙන් මෙම නාමාවලියට ඇතුළත් කරගන්නා ලද නමුත් ඔහුගේ අභිප්‍රාය වූයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයේදී මෙම නිල සිහිවටනය ලබාගැනීමයි.

ටෙස්ට් කඩුලු 800 ක් සහ එක්දින අන්තර්ජාතික කඩුලු 534 දවාගනිමින් ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම වැඩිම කඩුලු දවාගැනීමේ ලෝක වාර්තාවන් උසුළන මුරලිදරන් සමගින් ආතර් මොරිස්, ජෝර්ජ් ලෝමෑන් සහ කරන් රොල්ටන්ද (ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකා) ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නාමාවලියට ඇතුළත් කෙරිණ. මෙම නාමාවලියට මෙතෙක් ඇතුළත් කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකා සංඛ්‍යාව 83 ක් වන අතර එහි සිටින එකම ශ්‍රී ලාංකිකයා මුරලිදරන්ය.

“මේක අති විශාල ගෞරවයක් වගේම ආඩම්බරයක් දැණුනු අවස්ථාවක්. විශේෂයෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලැබුණ මේ ගෞරවය, ලෝකයේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට යා හැකි අවසාන ඉලක්කයයි.

ශූරයන්ගේ කුසලාන වැනි උසස්ම තලයේ තරගාවලියකදී මේ සම්මානය ලැබීම වඩාත් විශේෂයි” යයි පැවසූ මුරලිදරන්....

“මේ සම්බන්ධයෙන් මා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අවස්ථාව මගේ ජීවිතය පුරාම මට මතක තියේවි” යනුවෙන්ද පැවසීය.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේදී මුත්තයියා මුරලිදරන්ට මුහුණ දී ඇති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතාද මුරලිදරන් මෙම නාමාවලියට එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

“මුරලිගේ වාර්තාව මේ හැම දෙයක් වෙනුවෙන්ම කරුණු දක්වනවා. පන්දු යැවීමේදී ඔහුට තිබුණ පාලනය, වේගය, පන්දුව පතිත කළ දුර වගේම ඇදහිය නොහැකි ආකාරයෙන් පන්දුව දඟ කැවීමට තිබුණ හැකියාව එහෙම පිටින්ම පුරාවෘත්තයක්. ඔහු ‘දුස්රා’ පන්දුව දියුණු කරගත්තායින් පසුව ඔහුට මුහුණ දෙන්නම බැරි තත්ත්වයකට ආවා”

“තමන්ගේ සහෝදර ක්‍රීඩකයන් අතර අතිශයින් ජනප්‍රිය මුරලිදරන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ඔසවා තැබුවා විතරක් නෙමේ ලෝකය පුරාම ක්‍රීඩා ලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාංගණ වලට එක්රැස්කරගත් ක්‍රීඩකයෙක්” යයිද පැවසීය.

ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක් දවාගත් මුත්තයියා මුරලිදරන් ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 67 කි. කඩුලු 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් තරග 22 කි. ටෙස්ට් තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් වන්නේ 1998 දී එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී තරගයේදී ලකුණු 220 කට කඩුලු 16 ක් දවාගැනීමත්ය. එම තරගයේ දෙවැනි ඉනිමේදී  මුරලිදරන් ලකුණු 65 කට කඩුලු 9 ක් දවාගත්තේය.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනාගත් 1996 කණ්ඩායමේ මෙන්ම ශූරයන්ගේ කුසලානය (ඉන්දියාවත් සමග සම ශූරතාව) දිනාගත් 2002 වසරේදීද මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුව සිටියේය.

 


අදහස් (0)

මුරලිදරන් විශිෂ්ටතමයන්ගේ නාමාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.