Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් සමගම බලාපොරොත්තු දැවී යයි

මැතිව්ස් සමගම බලාපොරොත්තු දැවී යයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 301 ක ඉලක්කයක් කරා යමින් සිටියදී ඉතාමත් තීරණාත්මක මොහොතකදී අගනා සම්බන්ධතා දෙකක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු රඳවා ගත් නමුත් තේ පානයෙන් අනතුරුව සිදුවූ ඔහුගේ දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිළිහී ගියේය.

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (17 වැනිදා) පස්වරු 3.30 ට පමණ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය. තරගය ජයගැනීමට නම් තවත් ලකුණු 75 ක් ලබාගත යුතුව තිබෙන අතර ඒ සඳහා අතැතිව ඇත්තේ කඩුලු 3 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 26 ක් වන විට කඩුලු තුනක් අහිමි කරගත් නමුත් සිව්වැනි සහ පස්වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 77 ක සහ 73 ක සම්බන්ධතා ගොඩනැංවූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා තේ පානය වන විට නොදැවී ලකුණු 87 ක් ලබා සිටියේය. තේ පානයෙන් පසුව යවන ලද තුන්වැනි පන්දුවේදී මැතිව්ස් දැවී ගියේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් තැබූ බලාපොරොත්තුද දවාලමිනි.

කඩුල රකින්නා මෙන්ම පිතිකරුවකු වශයෙන්ද ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල පිටියේ රැඳී සිටින අතර ඔහුට පසුපෙළ පිතිකරුවන්ගෙන් සහයෝය ලැබුණහොත් මෙම ලකුණු 75 හඹා යා හැකිය. එසේ වුවත් නිරෝෂන් දික්වැල්ල එතරම් බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු නොවේ. පිතිකරුවකු ලෙසින් දස්කම් රැසක් දෝතින් තුරුළු කරගෙන සිටින නමුත් මෙවන් තීරණාත්මක අවස්ථාවලදී, සෙසු පිතිකරුවන් තමන්ගේ සෙවණැල්ලට මුවා කරගනිමින් ලකුණු ලබාගැනීමට හැකියාවක් තිබේද නැද්ද යන්න ඔප්පු කිරීමටත් ඔහුට මෙය හොඳ අවස්ථාවකි.

තමන් ලබාගත් ටෙස්ට් ශතක 8 න් අවස්ථා 5 කදීම ලකුණු 140 සීමාව පසුකර ගොස් සිටි දිමුත් කරුණාරත්න දිගු ඉනිමකට මුල පුරා තිබිණ. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ මැතිව්ස් අතර පැවති සම්බන්ධතාව බිඳ වැටුණේ අතිශය අවාසනාවන්ත ලෙසිනි.

අදිල් රෂීඞ්ගේ පන්දුවට දිමුත් කරුණාරත්න ඉතාම හොඳින් ගැසූ ස්වීප් පහරකින් පන්දුව ඇදී යද්දී ෆෝවර්ඞ් ‘ෂොට් ලෙග්’ හි සිටි කීටන් ජෙනිංග්ස් ඊට වමතින් ගැසුවේය. හතරේ සීමාව දෙසට ඇදී ගිය පන්දුව ජෙනිංස්ග්ගේ පහරින් ගමන් මග වෙනස් කරද්දී කඩුලු රකින්නා වූ බෙන් ෆෝක්ස් එය රැකගැනීම හේතුවෙන් දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 57 දී අවසන් විය.

මැතිව්ස් සහ සිය පාසල් සගයා වන රොෂේන් සිල්වා අතර පැවැති පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 73 ක් වෙද්දී මොයින් අලීගේ පන්දුවක් ස්ලිප් හි සිටි ජෝ රූට් අත නතර විය. එය උඩපන්දුවක් යයි කළ ඉල්ලීම විනිසුරු එරස්මස් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් විතීවි ක්‍රමවේදය අනුව තහවුරු වූයේ පන්දුව පා ආවරණයේ වැදී රූට් වෙත ඇදී යාමට පොරතුව රොෂේන්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී ගිය බවයි.

දිවා ආහාරයත් තේ පානයත් අතරතුර කාලයේදී එංගලන්ත පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු දෙකක් පමණි. ඒ අතරවාරයේදී ලකුණු 126 ක් ලබාගැනිමට ශ්‍රී ලංා පිතිකරුවෝ සමත් වූ අතර එංගලන්ත පිල වෙත එල්ල වන පීඩනය එන්න එන්නම වැඩි වෙමින් තිබිණ. එවන් තත්ත්වයක් හමුවේ තේ පානයෙන් පසුව මැතිව්ස් දවාගත් මුයින් අලී එංගලන්තය නැවතත් තරගයට කැඳවාගෙන ආවේය.

“මේ තණතීරුවේ ලකුණු හඹා යාම මහත් අසීරු වේවි” යන අනාවැකි මධ්‍යයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට ලැබුණේ අතිශය භයංකාර ආරම්භයකි.

පන්දුව ඉතාමත් හොඳින් දඟ කවනවා මදිවාට ඊට ඉපිළීමත් එකතු කරන ජැක් ලීච් හමුවේ ඉදිරියට පැන පහරක් ගැසීමට ගිය කෞෂාල් සිල්වා ස්ටම්ප් කිරීමකට හසුවිය. කීටන් ජෙනින්ංග්ස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමත් කුසල් මෙන්ඩිස්ගේ විනයක් නැති ස්වීප් පහරත් අතර පරතරය විනාඩි 20 ක් සහ ලකුණු 12 ක් පමණි.

පිටියට පිවිස මුහුණ දුන් දෙවැනි පන්දුවටම අතිශයින් අපරීක්‍ෂාකාරී ස්වීප් පහරක් ගැසූ කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල රැකුණේ වාසනාවටය. පිත්තේ නොවැදුණු පන්දුව ස්ලිප් කලාපය හරහා හතරේ සීමාවට ගියේය. ලීච්ගේ ඊළඟ ඕවරයේදී කඩුල්ල එල්ලයේ පතිත වූ පන්දුව ස්වීප් පහරක් මගින් මිඞ් විකට් කලාපයට යැවීමට උත්සාහ කළද එය පා ආවරණයේ වැදිණ. ලීච් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයන්ගේ ඉල්ලීම විනිසුරු සුන්දරම් රවී මහතා විසින් ප්‍රතික්ෂේප කළ නමුත් විතීවි සහාය ලබාගත් එංගලන්ත ක්‍රීඩකයෝ මෙවන් අවස්ථාවකදී වඩාත්ම තර්ජනයක් විය හැකි පිතිකරුවා පිටියෙන් ඉවත් කළහ.

කඩුලු 9 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම අද දිනය ආරම්භ කළේ ජේම්ස් ඇන්ඩසන් ගැසූ හතරේ පහරකිනි. සිය දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් සිටින බෙන් ෆෝක්ස් අවසන් පිතිකරුවා වූ ඇන්ඩසන් සමගින් එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 41 ක් එක් කළේය. මෙම සම්බන්ධතාව හේතුවෙන් එංගලන්ත පිලේ වාසිය ලකුණු 300 ක් දක්වා ඉහළ ගිය අතර ශ්‍රී ලංකා පිලේ ඉලක්කය එයිනුත් ලකුණක් ඈතට ගියේය.

ගාල්ලේදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් ෆෝක්ස් පිටියෙන් ඉවත්ව ගියේ පන්දු 119 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ අලංකාර හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කිරීමෙන් පසුවය.

 

ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

මැතිව්ස් සමගම බලාපොරොත්තු දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.