ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙහෙයවනු ලබන ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරගාවලිය සඳහා මහනුවර ක්‍රීඩා සමාජය සහභාගී වන තරඟ වලදී පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටිය වෙනුවට මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය හෝ නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණය දෙන්න’යි මහනුවර ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත ලිඛිතව දැනුම් දී තිබේ. එසේ නොදෙන්නේ නම් මෙවර ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරඟාවලියෙන් තමන් ඉවත්වන බවද මහනුවර ක්‍රීඩා සමාජ පිල සිය ලිපියෙන් දන්වා තිබේ.
මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ රග්බි කමිටු සභාපති ලසන්ත විජේසූරිය මහතාගේ අත්සනින් යුතුව ඒ බව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය වෙත මෙම ලිපිය යවා ඇත.
ලසන්ත විජේසූරිය මහතා ලංකාදීපයට පවසා සිටියේ පල්ලෙකැලේ වැනි දුර බැහැර ස්ථානයක රග්බි තරඟයක් පැවැත්වීමෙන් තරඟ නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන් දැඩි අපහසුතාවයකට පත් වීමට සිදු වන බවත් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ද එය අහිතකර ලෙස බලපාන බවත් හෙතෙම කීවේය.
තම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයන් බහුතරයක් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් බැවින් ක්‍රීඩා කරන ලබන ක්‍රීඩා පිටිය කුමක් වුවත් ප්‍රශ්නයක් නොවන බවත් හෙතෙම පැවසීය. එහෙත් ප්‍රේක්ෂකයින්ගේ පැත්තෙන් හා රග්බි ප්‍රවර්ධනය පැත්තෙන් සිතා මහනුවරදී පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන රග්බි තරග බෝගම්බර ක්‍රීඩා පිටිය හෝ නිත්තවල ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදන ලෙස ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට ලිඛිත ව දැනුම් දුන් බව ඒ මහතා පවසා සිටියේය.
මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කමිටු සභාපති ලසන්ත විජේසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය වසර වල දී පැවති ක්ලිෆර්ඞ් කුසලාන තරග වලදී මහනුවරින් පිටත පැවති තරඟ 24 කින් 22 ක ජය මහනුවර ක්‍රීඩා සමාජ පෙළ වාර්තා කර ඇති බවයි. මෙම ක්‍රීඩා සමාජ පිලේ ක්‍රීඩකයන්ට නිත්තවෙල ක්‍රීඩා පිටියෙන් බැහැර වෙනත් ක්‍රීඩා පිටි වල ක්‍රීඩා කිරීම පිළිබඳව තම ක්‍රීඩකයන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද විජේසූරිය මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.