
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ 8 වැනි සතිය ආරම්භ වන විට ලකුණු 25 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට ගෙන සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට දැඩි පීඩනයක් එල්ල කිරීමට ලකුණු 22 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර ක්‍රීඩා සමජය සමත්ව සිටියි.
සී.ආර්. කණ්ඩායම මේ වන විට තරග 5 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්ව ඇති අතර මහනුවර ක්‍රීඩා සමාජය තරග 4 කට සහභාගි වී තරග 3 ක් ජය ගෙන, එක් තරගයක් සමව අවසන් තරගෙන තිබේ. කෙසේ වුවත් මෙම කණ්ඩායම් දෙකම මෙතෙක් ඔවුන් සහභාගි වූ සෑම තරගයකදීම ප්‍රසාද ලකුණ බැගින් ලබාගැනීමට සමත්ව ඇත.
තරගාවලියේ 8 වැනි සතියේදී සී.ආර්. කණ්ඩායම හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිවත්, මහනුවර කණ්ඩායම ගුවන් හමුදාවට එරෙහිවත් තරග බිමට පිවිසෙනු ඇත. මෙම කණ්ඩායම් දෙක අතර පවතින ලකුණු පරතරය 3 ක් බැවින් සී.ආර්. කණ්ඩායමට තවදුරටත් ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටීමට නම් අනිවාර්යෙන්ම මෙම සතියේදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කිරීමට සිදුවනු ඇත.
හැව්ලොක්ස් කණ්ඩායම තරග 4 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන, එක් තරගයක් සමව අවසන් කරගනිමින් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ප්‍රසාද ලකුණු 3 ක් සමග ඔවුන් ලබා ඇති මුලු ලකුණු සංඛ්‍යාව 21 කි. සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමද තරග 4 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන, එක් තරගයක් සමව අවසන් කරගනිමින් ලකුණු 21 කට හිමිකම් කියන්නේ ප්‍රසාද ලකුණු 3 ක් සමගිනි.
ලබා සිටින ලකුණු සංඛ්‍යාව හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවට සමාන වුවත් මෙතෙක් සහභාගි වී ඇති තරග වලදී ලබාගත් ලකුණු සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු අතර පරතරය අනුව ගත් කළ සී.එච්. කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ. ඊට හේතුව හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුණු පරතරය 75 ක් ලෙසත්, සී.එච්. කණ්ඩයමේ ලකුණු පරතරය 42 ක් ලෙසත් සටහන්ව තිබීමය.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත.
කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.