Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බලපෑම් කළොත් ශ්‍රී ලංකාවට සම්බාධක

බලපෑම් කළොත් ශ්‍රී ලංකාවට සම්බාධක

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හෙට (29) පැවැත්වීමට නියමිත නිලවරණය අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ලබා දුන් උපදෙස් මාලාවට අනුව කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට එම සම්මේලනය නිලවරණ කමිටුවට දැනුම් දී තිබේ.

 හෙට පස්වරු 3 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය කැඳවන්නේ ඉදිරි සිව් වසරක කාලයක් සඳහා ඊට අලුතින් විධායක සභාව පත්කර ගැනීමේ අභිලාෂයෙනි.

 නිලවරණ කමිටුවේ සභාපති, විශ්‍රාමික විනිසුරු ආචාර්ය යූ.එල්. මජීඩ් මහතා අන්තර් ජාතික පාපන්දු සම්මේලනයට යොමුකර තිබෙන කරුණු විමසීමේ ලිපියකට පිළිතුරු යොමුකරමින් එහිදී ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ කිසිදු තෙවැනි පාර්ශ්වයක මැදිහත් වීමකින් තොරව ඔවුන්ගේ අනිසි බලපෑමකින් තොරව නිලවරණය පවත්වා අවසන් කිරීමට වගබලා ගත යුතු බවයි.

 නිලවරණ කමිටුවේ සභාපතිවරයා එහි දී අන්තර් ජාතික සම්මේලනයෙන් විමසා ඇත්තේ ඔවුන් ලබා දී තිබෙන නිලවරණ නීති සංග්‍රහයට අනුව නිලවරණය පැවැත්විය යුතු ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

ඒ අනුව අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ප්‍රධාන නිලධාරි කෙනී ජේන් මරේ හා එහි නියෝජ්‍ය මහලේකම් චාහිඩ් කර්දානිගේ අත්සන්වලින් මෙරට නිලවරණ කමිටුවේ සභාපතිවරයාට යොමුකළ ලිපියේ කරුණු ගණනාවක් දැඩි ලෙස අවධානයට යොමුකර තිබේ.

 එම ලිපියේ මෙසේද දැක්වේ ‘ඔබට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ප්‍රඥාප්ති තුළ ඕනෑම නීතිමය පිළියමක් සෙවිය හැකි අතර කරුණාකර ප්‍රඥාප්ති හා මැතිවරණ නීති සංග්‍රහය අනුගමනය කරන්න.’’

මේ අතර ලිපියේ මෙසේ ද දක්වා ඇත. තවද ‘ෆිෆා’ හි ව්‍යවස්ථාවේ අංක 14 හි 2 සහ 3 හි සඳහන් වන තෙවැනි පාර්ශ්වයේ බලපෑම අදාළ සාමාජික සම්මේලනයේ වරදක් නොවුණත් ඉහත සඳහන් කළ වගකීම උල්ලංඝනය කිරීම ‘ෆිෆා’ ව්‍යවස්ථාවේ සපයා ඇති සම්බාධකවලට හේතු විය හැකි බව අවධාරණය කෙරේ.’’

ශ්‍රී ලංකා පාපන්දු ආයතන ව්‍යවස්ථාවේ අංක 62 ප්‍රකාරව එහි ආරවුලක අවසාන අවස්ථාවේ දී පමණක් ශ්‍රී ලංකා ජාතික බේරුම්කාර මණ්ඩලයට අදාළ අභියචනා යොමු කළ හැකිය. ඒ අාරවුල නිශ්චිතවම එමගින් විසඳෙනු ඇති බවට සහතික වීමෙනි.

ලිපියෙන් අන්තර් ජාතික පාපන්දු සම්මේලන නිලවරණ කමිටුවට දනුම් දී ඇත්තේ සැප්තැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි තත්වයන් සිය සම්මේලනය ආසියානු පාපන්දු සමුළුව සමග එක්ව දිගින් දිගටම නිරීක්‍ෂණය කරන බවයි.

පසුගිය අගෝස්තු 27 වැනිදා අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය පිළිවෙත ලිහිල් කරමින් තහනම ඉවත් කිරීමට ගත් තීරණය ද ලිපියෙන් සිහිපත් කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ 2022 සංශෝධිත ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මෙම ලිපිය පුරා නිලවරණ කමිටුවට සිහිපත් කිරීම් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය (2023-27) කැඳවීමට තවත් අද (28) සිට තවත් පැය 24 කට නොඅඩු කාලයක් පමණක් ඉතිරිව තිබුණ ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව විභාගයට ගත් නාමයෝජනා අභියාචනා (විරෝධතා) සම්බන්ධයෙන් සිය තීරණ හා නිගමන ගැනීමට ඊයේ (27) පස්වරු 6 පසුවන තුරුත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණි.

එහිදී නිලවරණයට නාමයෝජනා බාර දී තිබෙන දෙපාර්ශවයෙන්ම නාමයෝජනා ගණනාවකටම අභියාචනා ඉදිරිපත් කර තිබුණි. කෙසේ වුවත් නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙපාර්ශවයේම නාමයෝජනා කීපයක් ප්‍රතික්ෂේප කිරීමට අභියචනා කමිටුව තීරණය කර තිබේ.

ජස්වර් උමාර් මහතා මෙවර සභාපති ධුරයට තරග වැදීමට නිර්දේශ ලබා සිටින එකම සභාපති අපේක්‍ෂකයා ලෙස නිලවරණ කමිටුව ප්‍රකාශකර තිබුණි. එහෙත් සභාපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වුණු දක්‍ෂිත සුමතිපාල මහතා නිලවරණ කමිටුව සිය නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනා කමිටුවට විරෝධතාවක් බාරදී තිබුණි.


අදහස් (0)

බලපෑම් කළොත් ශ්‍රී ලංකාවට සම්බාධක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.