Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බර වැඩට පෙර හේරත්ට විවේකය

බර වැඩට පෙර හේරත්ට විවේකය

ශනුක අරවින්ද - 2015 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර එක හමාරක කාලයක් තුළදී තුන්වැනි වතාවටත් ටෙස්ට් තරගාවලියක් සඳහා සූදානම් වන ශී‍්‍ර ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් දෙකම එකිනෙකා පිළිබඳව හොඳින්ම දනිති. එහෙත් දෙපිලේ ඉලක්ක මොනවාද යන්න පිළිබඳව නම් ඇත්තේ කුකුසකි. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය හෙට (17 වැනිදා) ආරම්භ වන්නේ එවන් වාතාවරණයක් තිබියදීය.

මාස පහකට පසුව ටෙස්ට් තරගාවලියකට සූදානම් වන ශී‍්‍ර ලංකා පිලට ඇත්තේ හැකි ඉක්මනින් දස්කම් අතරට පිවිස නැවතත් ටෙස්ට් තරග රටාවට අවතීර්ණ වීමේ ආශාවයි. මක්නිසාද යත් ඉදිරි මාස හය ඇතුළතදී ටෙස්ට් තරග 10 කට මුහුණ දීමට ඔවුන්ට සිදුවන බැවිනි.

නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිස ඒ බව හොඳින්ම වටහාගෙන සිටිති. ඇරත් තවත් දෙමසක ඇවෑමෙන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන කුමාර් සංගක්කාරට ගැලපෙන සමුගැනීමේ සංදර්ශනයක් වෙනුවෙන් දස්කම් මුවහත්කරගැනීමේ අවශ්‍යතාවද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තදින්ම තිබේ.

ලෝක කුසලන තරගාවලියට පෙර නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අන්තර්ජාතික තරග වලට සහභාගි නොවීය. ටෙස්ට් සංචිතයේ සිටින කී‍්‍රඩකයන් අතුරින් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පැවැති අයි. පී. එල්. තරගාවලියට සහභගි වූයේද ඇන්ජලෝ මැතිව්ස් පමණි.

අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්
1 දකුණු අපි‍්‍රකාව    130
2 ඕස්ටේ‍්‍රලියාව 111
3 නවසීලන්තය 99
4 ඉන්දියාව 97
5 එංගලන්තය 97
6 පාකිස්තානය    97
7 ශී‍්‍ර ලංකාව 96
8 බටහිර ඉන්දිය කොදෙව් 81
9 බංග්ලාදේශය 41
10 සිම්බාබ්වේ 5

එබැවින් ලද විවේකය තරමක් දීර්ඝ යයිද එය දස්කම් කෙරේ කිසියම් අනිසි බලපෑමක් ඇතිකළ හැකිවා මෙන්ම වඩාත් හොඳ ප‍්‍රතිඵළ ගෙන එනු ඇතැයිද එකිනෙක හා ගැටෙන මත දෙකකි.

”තරමක් දුරට ඒ දෙකම තියෙනවා....සමහර වෙලාවට අපි ටිකක් මේ කී‍්‍රඩාවට (ටෙස්ට් තරග සඳහා) අලූත් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙමේ. අපි පසුගිය සති කිහිපයේදී ඉතාමත් වෙහෙස මහන්සියෙන් පුහුණු වුණා”

”ඒ නිසා ඒ විවේකය අපට ඉතාමත් වටිනවා. ඒ විවේකය නිසා අපට කිසියම් පුනර්ජීවයක් ලැබෙනවා” යයි ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අද (16 වැනිදා) ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

එංගලන්තයේ සරේ ප‍්‍රාන්ත පිල වෙනුවෙන් පළමු පෙළ තරග කිහිපයකට සහභාගි වූ කුමාර් සංගක්කාර නැවතත් ශී‍්‍ර ලංකා පිලට එක්ව සිටී. මෙය පාකිස්තානු පිලට එරෙහිව ඔහු සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලියයයි.

මෙතෙක් ලබා සිටින ටෙස්ට් ශතක 38 න් 10 ක්ම පාකිස්තානයට එරෙහිව ලබා සිටින මෙම අලංකාර වමත් පිතිකරුවා පාකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු සංඛ්‍යාව 2803 කි. එහි ඉනිමක සාමාන්‍යය 80.25 කි. නිශ්චිත ඉලක්ක ආසන්නයේදී ඉතාමත් විචක්‍ෂණ ආකාරයෙන් කි‍්‍රයාත්මක වන සංගක්කාර පාකිස්තානයට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගාවලියේදී කුමක් කරන්නට ඉටාගෙන සිටින්නේද යන්න පිළිබඳවත් විමසිලිමත් වීම වටී.

ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ රකින්නා වශයෙන් වසර 2000 දී ගාල්ලෙන් ආරම්භ කළ ටෙස්ට් දිවිය ගාල්ලේදීම නිමා කිරීමට සූදානම් වන සංගක්කාර, ටෙස්ට් පිටියෙන් සමුගැනීමට පෙර ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ද්විත්ව ශතක 12 වාර්තාව සමකිරීමට ඉටාගෙන සිටින්නේ නම් අද ආරම්භ වන ටෙස්ට් තරගය මෙන්ම තරගාවලියද ඒ සඳහා ඔහුට හොඳ අවස්ථාවකි.

වඩාත් හොඳ ටෙස්ට් පිතිකරුවකු වීම සඳහා සංගක්කාර බිම තැබූ කඩුලූ රැකීමේ අත් ආවරණ දිනේෂ් චන්දිමාල් අහුළාගෙන තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම වටකරගෙන සිටින පිතිකරුවන් දිහා බලන විට කණ්ඩායමට එක්වීමට චන්දිමාල්ට ගතහැකි හොඳම උපායමාර්ගය වන්නේද කඩුලූ රැකීමේ අත් ආවරණ බාරගැනීමයි.

කෙසේ වෙතත් ටෙස්ට් පිතිකරුවකු වශයෙන් දිගු ගමනක් යාමේ හැකියාවක් ඇති චන්දිමාල්ට නුදුරු අනාගතයේදීම (බොහෝ විට සංගක්කාරගේ සමුගැනීමෙන් පසුව) කඩුලූ රැකීමේ අත්ආවරණ වෙනත් අයකුට බාරදී ස්ථාවර ඉදිරපෙළ පිතිකරුවකු වීමට හොඳ අත්තිවාරමක්ද මෙම තරගයේදීම දමාගත හැකිය.

අද ඇරඹෙන තරගය සම්බන්ධයෙන් තේරීම් කමිටුවට ඇත්තේ එකම හිසරදයක් පමණි. ඒ කණ්ඩායමේ අංක 7 පිතිකරුවා කවුරුන්ද යන්න තෝරා ගැනීමයි.

දිගු කලකට පසුව ජෙහාන් මුබාරක් නැවතත් ටෙස්ට් සංචිතයට එක්ව සිටියද, පාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව ඉතාමත් හොඳ දස්කම් පෙන්වූ කුසල් පෙරේරා සහ කිත්රුවන් විතානගේ දෙදෙනා පසෙකට ඇදදමමින් ටෙස්ට් පිලට එක්වීමට මුබාරක්ගේ පන්දු රැකීමේ දක්‍ෂතා පමණක් පමාණවත් වේ යයි සිතිය නොහැකිය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇන්ජලෝ මැතිව්ස් කීවේ මෙවන් කතාවකි.

”මා තවමත් තේරීම් කමිටු නිලධාරීන් හමුවූයේ නෑ. ඒත් අවසන් කී‍්‍රඩකයන් 11 දෙනා අතරට එක්වීම සඳහා කිත්රුවන් ඉතාමත් ආසන්නයෙන් සිටිනවා... ඒත් ඒ ගැන තවමත් අවසන් තීරණයක් නෑ” යයි මැතිව්ස් ඊයේ දහවල් පැවසීය.

ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ දග පන්දු යවන්නා වන රංගන හේරත්ට ඊයේ විවේක දිනයකි. අද දවසේ ඔහුට වඩාත් බර වැඩකොටසක් පැවරෙන හෙයින් ඊයේ පුහුණුවීම් වලින් හේරත් විවේක ගන්වා තිබිණ. හේරත්ගේ සහායක පන්දු යවන්නා කවුරුන්ද යන්න ඊයේ සවස වනතුරුත් තීරණය කර නොතිබුණේ අද පෙරවරුවේදී තණතීරුවේ ස්වභාවය බලා අවසන් තීරණය ගැනීමට පිණිසය.

”ඔහුට කිසිම ආබාධයක් නෑ. ඒත් හෙට දවසේ එයාට බර වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා අද අපි එයාට විවේක දුන්නා” යයි හේරත් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

රංගනගේ සහායකයා වීම සඳහා ටෙස්ට් තරග 7 කදී කඩුලූ 36 ක් දවාගනිමින් සාර්ථක දස්කම් දක්වා තිබෙන ඩිල්රුවන් පෙරේරාට වැඩි අවස්ථාවක් තිබෙන නමුත් තරිඳු කෞෂාල්ද කිසිසේතම අමතක කළ නොහැකිය. එය තරිඳු කෞෂාල් සහ ඩිල්රුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඔට්ටු තැබීමකි.

අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම ලයිස්තුව අනුව පළමු සහ දෙවැනි ස්ථාන දිනාගෙන සිටින දකුණු අපි‍්‍රකාව (ප‍්‍රසාද ලකුණු 130) සහ  ඕස්ටේ‍්‍රලියාව (ප‍්‍රසාද ලකුණු 111) සිටින්නේ සෙසු කණ්ඩායම් වලට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. එහෙත් තුන්වැනි ස්ථානයේ සිටින නවසීලන්තය (99) සහ හත්වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාව (96) අතර පරතරය ප‍්‍රසාද ලකුණු 3 කි.

මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා - පාකිස්තාන් තරගාවලියේදී දෙපිලටම අලූත් ඉලක්ක නිර්මාණය වී තිබේ. තරගාවලිය 3-0 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකාව හෝ පාකිස්තානය සමත් වුවහොත් ප‍්‍රසාද ලකුණු 8 ක් එක්කරගනිමින් එක්වරම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ තුන්වැනි ස්ථානය ලබාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට මෙන්ම පාකිස්තානයටද තිබේ. 3-0 ක ජයක් පමණක් නොව ඒ සඳහා 2-1 ක තරගාවලි ජයක් වුවද දෙපිලටම ප‍්‍රමාණවත්ය. මක්නිසාද යත් 2-1 ක තරගාවලි ජයකදී වුවත් ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිවන බැවිනි.

2-1 ක තරගාවලි ජයකින් අනතුරුව පාකිස්තානයට ප‍්‍රසාද ලකුණු 101 ක් ද ශී‍්‍ර ලංකාවට ප‍්‍රසාද ලකුණු 100 ක් ද හිමිවේ.

ශී‍්‍ර ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, රංගන හේරත්, නුවන් ප‍්‍රදීප්, ජෙහාන් මුබාරක්, කුසල් ජනිත් පෙරේරා, තරිඳු කෞෂාල් සහ දුෂ්මන්ත චමීර

පාකිස්තාන් සංචිතය
මිස්බා උල් හක් (නායක), අසාර් අලි (උප නායක), මොහොමඕ හෆීස්, අහමඞ් ෂෙශාඞ්, ෂාන් මසූඞ්, යුනිස් ඛාන්, අසාඞ් ශෆීක්, හැරිස් සොහේල්, සෆ්රාස් අහමඞ් (කඩුලූ රකින්නා), යසිර් ෂා, සුල්ෆිකාර් බාබර්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන්, ඉම්රාන් ඛාන් සහ එශාන් අලි


අදහස් (0)

බර වැඩට පෙර හේරත්ට විවේකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.