
ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි
“සකස් කරන ලද තරගාවලි කාල සටහනට අනුගතව ඉන්දියාවේදී ක්‍රීඩා කරන්න, නැතිනම් තරගාවලියෙන් ඉවත්ව යන්න” යයි අන්තරජාතික ක්‍රිකට් සභාව බංග්ලාදේශයට දන්වා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (සඳුදා) මේ බව බංග්ලාදේශයට දැනුම් දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කියැවෙන බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවේදී තමන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති බව කියමින් ඉන්දියාවේදී ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. බංග්ලාදේශීන්ගේ තදබල ඉල්ලීම වන්නේ පාකිස්තානුවන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නාක් මෙන් තමන්ගේ සියලුම තරගත් ශ්‍රී ලංකාවේදී පැවැත්විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිත පිරිසක් බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නුවරදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයන් සමග සාකච්ඡා කළහ. එහෙත් විසඳුමකින් තොරව එම සාකච්ඡා අසාර්ථක විය.
“මේ සාකච්ඡාවලදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එක හෙළාම ඉල්ලා සිටියේ බංග්ලාදේශයේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවත්වන ලෙසයි” යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවිණ.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිවක් නිවේදනය නොකළ නමුත් ‘ක්‍රික් ඉන්ෆෝ’ ඇතුළු ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශයට තීරණයක් ගැනීම සඳහා බදාදා දක්වා කල්දී ඇති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන්නේ ද ඉන්දීය ජාතිකයකු වන ජේ ෂා මහතාය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේද තවත් ඉන්දීය ජාතිකයකු වන සන්ජොග් ගුප්තා මහතාය.
යම් හෙයකින් ඉන්දියාවේදී ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය අකමැත්ත ප්‍රකාශ කළහොත්, ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවතට ඇද දමා ඒ ස්ථානය ස්කොට්ලන්තයට පිරිනැමීමට ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව සූදානම් වෙමින් සිටින බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනැගනීමට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලත් කණ්ඩායම් අතරේ ඉහළම ශ්‍රේණිගත කණ්ඩායම වන්නේ ස්කොට්ලන්තයයි.
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 16 ක් පමණි. බංග්ලාදේශය තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරග කරන අතර ඔවුන්ගේ සියලුම තරග කොල්කටා නුවරදී සහ මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිතය.
මේ අතර බංග්ලාදේශය කියා සිටින්නේ ලෝක කුසලාන තරගාවලියේදී ‘සී’ කාණ්ඩයේ ක්‍රීඩා කරන බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයට දමා ‘බී’ කාණ්ඩයේ සිටින අයර්ලන්තය ‘සී’ කාණ්ඩයට දමන ලෙසයි. බී කාණ්ඩයේ ක්‍රීඩා කරන අයර්ලන්ත කණ්ඩායමේ සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.