Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක්
1 වැනි එක්දින තරගය

බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක්

editorial - 2024 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට හැමදාමත් බැට දෙන නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 122) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 73) දෙදෙනා එක්ව බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී අද (13 වැනිදා) පැවැති පළමු එක්දින අන්තර්ජාතික තරගයේදී කඩුලු 6 ක ජයක් කරා බංග්ලාදේශය කැඳවාගෙන ගියහ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේදී ලකුණු 255 කට දැවී ගියේය. බංග්ලාදේශය ඕවර 44.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 257 ක් ලබාගත්තේය. 

ලකුණු 256 ක පහසු ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශීන්ගේ කඩුලු 3 ක් ලකුණු 23 කට බිඳ වැටුණ නමුත් ඉනිම මැද සිටවූ කොඩි ගහක් මෙන් ස්ථාවර පිතිහරඹයක නිරත වූ නායක ශන්ටෝ හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ද සමගින් පන්දු 129 කදී ලකුණු 122 ක් ලබාගත්තේය. 

ඉනිම ආරම්භයේදීම සිදුවූ කඩා වැටීමට මුක්කුවක් ගැසූ මහමදුල්ලා (37) සහ ශන්ටෝ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. මුෂ්ෆිකුර් රහීම් පිටියට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් සෙල්ලමකට ගත්තේය. ශන්ටෝ සහ රහීම් දෙදෙනා අතර පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 165 කි. 

කුසල් ජනිත් පෙරේරාට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වෙද්දී කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 255 ක් කරා කැඳවාගෙන ගියහ. වර්තමානයේ පවතින මිනුම් දඬු අනුව එක්දින තරගයක් ජයගැනීම සඳහා ලකුණු 255 ක් ප්‍රමාණවත් නොවේ. 

කණ්ඩායමේ තීරණයට සාර්ථක ප්‍රතිචාර දැක්වූ පැතුම් නිස්සංක (36) සහ අවිශ්ක ප්‍රනාන්දු (33) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් පැවැත්වූවද, එම සම්බන්ධතාව 10 වැනි ඕවරයේදී බිඳී යාමත් සමගින් ශ්‍රී ලංකා ඉනිම එකතැන කඩාවැටිණ. එහෙත් කුසල් මෙන්ඩිස් ස්ථාවරව කඩුල්ලේ රැඳී සිටියේ බංග්ලාදේශ පන්දු යවන්නන් කෙරේ පවතින ආකල්පය නොවනස්ව තබාගනිමිනි. අන්තර්ජාතික තරග වලදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 1609 ක් ලබා සිටින කුසල් මෙන්ඩිස් බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ රඳවාගෙන සිටින සාමාන්‍යය ලකුණු 51.24 කි. 

වේග පන්දු යවන ටැන්සිම් හසන් සකිබ් පිට පිටම ඕවර 3 කදී කඩුලු 3 ක් දවාගනිමින් කිසිවකු නොදැවී ලකුණු 71 ක් සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව, ඕවර 4 ක් ඇතුළත කඩුලු 3 ට 84 ක් ලෙසින් වෙනස් කළේය. කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ එක්ව ශ්‍රී ලංකා ඉනිම යම්තාක් දුරට ගොඩගත් නමුත් දෙදෙනාගෙන් කිසිවකුට ඉනිම අවසන් වන තුරු පිටියේ රැඳී සිටිය නොහැකිවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 255 කට දැවී ගියේය. 

ජනිත් ලියනගේ සමගින් එක්වූ ශ්‍රී ලංකා නායකයා, ලකුණු සංඛ්‍යාව 128 සිට 197 දක්වා ඇදගෙන ගියේය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 69 ක් එකතු කළ සම්බන්ධතාව නජ්මුල් හොසේන් සහ ටස්කින් අහමඞ් එක්ව බිඳ දමන ලදි. මෙන්ඩිස් පන්දු 75 කින් ලකුණු 59 ක් ලබාගනිද්දී ජනිත් ලියනගේ ස්ථාවර පිතිහරඹයක නිරත විය. ලියනගේ දිගටම පිටියේ රැඳී සිටි අතර 47 වැනි ඕවරයේදී ඔහු දැවී යන විට ලකුණු සංඛ්‍යාව 244 ක් වී තිබිණ. පන්දු 69 කින් ලකුණු 67 ක් ලබාගත් ලියනගේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 කින් තම ඉනිම සැරසීය. 

සුපුරුදු පරිදි ෂොරිෆුල් ඉස්ලාම් සහ මුෂ්ෆිකුර් රහීම් නැවත වතාවක් ශ්‍රී ලංකාවට හිසරදයක්ම වූහ. ෂොරිෆුල් ලකුණු 51 කට කඩුලු 3 ක් දවාගනිද්දී ඒවායින් දෙකකට දායක වූ මුෂ්ෆිකුර් රහීම් නම් වූ කඩුලු රකින්නා, පන්දු 84 කින් නොදැවී ලකුණු 73 ක් ලබාගැනීමට පෙර ශ්‍රී ලංකා පිලේ  උඩපන්දු 4 කටම වගකීවේය. 

වසර 146 ක අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේදී පිතිකරුවකු (ඇන්ජලෝ මැතිව්ස්) කාලය ඉකුත් වීමෙන් දවාගැනීමේ පළමු සිද්ධියෙන් පසුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු වැනි එක්දින තරගය මෙයයි. 

දෙපිල අතර මීළඟ තරගය ලබන සිකුරාදා (15 වැනිදා) චැටෝග්‍රෑම් නුවර සහූර් අහමඞ් චෞද්රි  පිටියේදීම පැවැත්වේ. 

 

ජනිත් ලියනගේ...

- 213


අදහස් (0)

බංග්ලාදේශයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.