Last Update  :  2026-01-16 17:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ ක්‍රීඩකයෝ බී.පී.එල්. වර්ජනය කරති

බංග්ලාදේශ ක්‍රීඩකයෝ බී.පී.එල්. වර්ජනය කරති

editorial - 2026 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් වැඩිවන පීඩනය හමුවේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයයේ මූල්‍ය කමිටුවේ අධ්‍යක්‍ෂ එම්. නජ්මුල් ඉස්ලාම් මහතාව මූල්‍ය කමිටුවේ සභාපති ධුරය ඇතුළු සියලු වගකීම්වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

“සියලු දෙනාගේ යහපත වෙනුවෙන් මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් මහතා විසින් මෙම තීරණය ගන්නා ලදි” යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවිණ. 

මෙතැන් සිට නැවත දැනුම් දෙන තුරු, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් මූල්‍ය කමිටුවේ වැඩබලන සභාපතිවරයාගේ භූමිකාව ද භාර ගනු ඇත. 

පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ දිනවල පැවැත්වෙමින් තිබේ. එහෙත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයයේ මූල්‍ය කමිටුවේ අධ්‍යක්‍ෂවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් උරණ වූ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමය දැඩි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නජ්මුල් ඉස්ලාම් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් 14 වැනිදා පැවැත්වීමට නියමිත බී.පී.එල්. තරගාවලියේ තරග ඇතුළු බංග්ලාදේශයේ සියලුම ක්‍රිකට් තරග වර්ජනය කරන බවයි. 

14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නොකාලි එක්ස්ප්‍රස් සහ චැටෝග්‍රෑම් රෝයල්ස් කණ්ඩායම් අතර තරගයත්, රාජ්ශාහි වොරියර්ස් සහ ශිලාත් ටයිටන්ස් අතර තරගයත් 15 වැනිදාට කල් දමන ලද නමුත් එය ඊයේත් නොපැවැත්විණ. මෙම තරග බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. 

“ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ඉහළම ප්‍රමුඛතාව දෙන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නැවතත් අවධාරණය කරයි. තමන්ගේ පාලනය යටතේ සිටින සියලුම ක්‍රීඩකයින්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්පූර්ණයෙන්ම කැපවී සිටී” 

“වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අවධානය යොමුවිය යුතු බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ඉහළම මට්ටමේ වෘත්තීයභාවයකින් යුත් කැපවීම අඛණ්ඩව ප්‍රදර්ශනය කරනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. ඒ අතරම, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අඛණ්ඩ සහභාගීත්වය සහතික කිරීම සඳහා ඔවුන්ගේ උපරිම වශයෙන් කටයුතු කරනු ඇත” යනුවෙන් ද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයයේ මූල්‍ය කමිටුවේ අධ්‍යක්‍ෂ එම්. නජ්මුල් ඉස්ලාම් මහතා බදාදා පැවැති පුවත් පත් සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මෙම සියලු අර්බුද වල මූලාරම්භය විය. 
නජ්මුල් ඉස්ලාම් මහතා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, බංග්ලාදේශ ක්‍රීඩකයන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කළහොත් බංග්ලාදේශ ක්‍රීඩකයින්ට වන්දි ලබා නොදෙන බවයි. ක්‍රීඩකයන්ට වන්දි ගෙවීමේ කාරණාව සම්බන්ධයෙන්, ඔහු තවත් පියවරක් ඉදිරියට යමින් කියා සිටියේ ක්‍රීඩකයින් තමන්ගේ දස්කම් වෙනුවෙන් මූල්‍ය වේතනයක් ඉල්ලා සිටින්නේ නම්, ඔවුන් පිටියේ දස්කම් දැක්වීමට අපොහොසත් වූ විට මුදල් ආපසු ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් අයිතියක් තිබිය යුතු බවයි.

“මේ වගේ ප්‍රශ්නයක් ඉස්මතු කරන්නත් බෑ” 

“අපි ඔවුන් වෙනුවෙන් බොහෝ වියදම් කරනවා. ඔවුන් විවිධ තැන්වලට ගියත් අපේක්‍ෂිත දස්කම් දැක්වීමට අපොහොසත්. අපි මේ දක්වා එක ගෝලීය ශූරතාවක්වත් දිනාගෙන තියෙනවාද ?”
“ඒ සෑම අවස්ථාවකදීම, ‘ඔබලා දස්කම් දැක්වූයේ නෑ.. ඒ හින්දා අපි ඔබ වෙනුවෙන් වියදම් කළ මුදල් ආපසු දෙන්න,’ කියලා කියන්න අපිටත් පුළුවන්කම තිබුණා. ඒත් අපි එහෙම ඉල්ලුවේ නෑ” යයි  නජ්මුල් ඉස්ලාම් මහතා පැවසීය. 

නජ්මුල් ඉස්ලාම් මහතාගේ මාධ්‍ය හමුවට පසුව බදාදා ම පැවති තවත් මාධ්‍ය හමුවකදී, ක්‍රීඩකයන්ගේ සුබසාධක සංගමයේ සභාපති මොහොමඩ් මිතුන් විසින් මූල්‍ය කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරන ලදි. නජ්මුල් ඉස්ලාම් මහතාගේ ප්‍රකාශය ක්‍රීඩකයන්ට කළ අගෞරවයක් ලෙස මොහොමඩ් මිතුන් විසින් හඳුන්වා දෙන ලදි. 

බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් මිරාස් ද, නජ්මුල්ගේ අදහස් දැඩිලෙස හෙළා දුටුවේය. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් උපයා ගන්නේ ක්‍රීඩකයින් රට නියෝජනය කරමින් තරඟාවලිවලට සහභාගී වන නිසා බව මෙහෙදි හසන් මිරාස් පැවසීය. එබැවින් නජ්මුල්ගේ අදහස් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකිවයුතු තනතුරක් දරන කෙනෙකුට නුසුදුසු දෙයක් ලෙස ද තුන් ඉරියව් ක්‍රීඩකයා විසින් හුවා දක්වන ලදි. 


 - 213


අදහස් (0)

බංග්ලාදේශ ක්‍රීඩකයෝ බී.පී.එල්. වර්ජනය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.