Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංකුවේ තැබූ නිපුන්ගෙන් ශතකයක්
අන්තර් සමාජ මේජර් ලීග්

බංකුවේ තැබූ නිපුන්ගෙන් ශතකයක්

editorial - 2023 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ පානදුර කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (30 වැනිදා) පැවැති තරගයේදී අගනා ශතකයක් ලබාගැනීමට එස්.එස්.සී. කණ්ඩායමේ නායක නිපුන් ධනංජය (නොදැවී 103) සමත් විය.

ඔහු එම ශතකය ලබාගත්තේ තරග දෙකක් බංකුවේ සිට යළිත් කණ්ඩායමට ඇතුළත් වූ විගස වීම එහිදී කැපී‍ පෙනෙන සිදුවීමක් විය. තරග තහනමකින් අනතුරුව යළිත් සංචිතයට පැමිණි ධනුෂ්ක ගුණතිලකට අවස්ථාව දීම වෙනුවෙන් එතෙක් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ නිපුන් බංකුවේ රැදවීමට එස්.එස්.සී. කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගත්තේය.

අන්තර් සමාජ පළමු පෙළ මේජර් ලීග් (තුන් දින) තරගාවලියේ සම ශූරතාව දිනාගැනීම සඳහා එස්.එස්.සී කණ්ඩායම මෙහෙයවූ නිපුන්ට, ශ්‍රී ලංකා කණ්ඩායම නියොජ්නය කරන ක්‍රීඩකයන් රැසක් එස්.එස්.සී.  කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන් එක්දින තරගාවලියේදී කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් හිමිකර ගැනීමට තරමක් අපහසු විය. ධනුෂ්කගේ ආගමනයත් සමග එම අපහසුතාව තවදුරටත් උග්‍ර විය.

කෙසේ වුවත් එස්.එස්.සී. කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 5 දෙනෙක් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමත් සමග නිපුන්ට යළිත් වරක් එක්දින කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාවක් හිමිවූ අතර යළිත් වරක් කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද පැවරිණ. ලද අවස්ථාවෙන් නිසි ඵල නෙළාගත් නිපුන්, ශතකයක් ලබාගනිමින් තමා බංකුවේ රැඳවූවන්ට පිත්තෙන්ම පිළිතුරු දීමට සමත් විය.

එහිදී පන්දු 122 කට මුහුණදුන් නිපුන්, එස්.එස්.සී. ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් හතරේ පහර 13 කින් සිය ශතකය සැරසුවේය. ‍කෙසේ වුවත් ශතකය ලබාගැනීම සඳහා ඔහුට ඉනිමේ අවසන් පන්දුව තෙක් ඉවසිල්ලෙන් බලා සිටීමට සිදුවූ අතර යෂාන් අවිෂ්ක‍ගේ පන්දුවක් හමුවේ බැක්වඩ් පොයින්ට් කලාපයට ඉහළින් අපර් කට් පහරක් එල්ල කරමින් ඔහු සිය ශතකය ලබාගත්තේය.

නිපුන්ගේ ශතකයත් සමග නියමිත ඕවර 47 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් රැස්කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත් වුවද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පානදුර කණ්ඩායම ඕවර 12 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 67 ක් ලබා සිටියදී වැස්සෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. එහෙත් ලකුණු 12 ක් සමග තවදුරටත් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට හැකි විය.

සෙනසුරාදා දිනයේදී තවත් මූලික වටයේ තරග 7 ක් පැවැති අතර එහිදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් ලැබීමට යුද හමුදා කණ්ඩායමද, බී.අර්.සී. කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් ලැබීමට එන්.සී.සී. කණ්ඩායමද සමත් විය. වර්ෂාව හේතුවෙන් බදුරලිය - නුගේගොඩ, කෝල්ට්ස් - පොලිස්, මුවර්ස් - සෙබස්තියනයිට්ස් සහ සී.සී.සී. - ගුවන් හමුදා යන තරග විසඳුමකින් තොරව නිමාවට පත්වූ අතර කුරුණෑගල - මීගමුව තරගය අත්හැර දැමීමට සිදුවිය.

එම තරගවලදී යුද හමුදා පිලේ දිනේෂ් චන්දිමාල් (61), බී.අර්.සී. පිලේ දුලාෂ් වීරසූරිය (52), එන්.සී.සී. පිලේ ළහිරු උදාර (55), බදුරලිය පිලේ අනුක් ප්‍රනාන්දු (නොදැවී 66), මුවර්ස් පිලේ කවිඳු කුලසේකර (61) සහ රමේෂ මෙන්ඩිස් (නොදැවී 53), සී.සී.සී. පිලේ නිමේෂ ගුණසිංහ (61) සහ සොනාල් දිනූෂ (53) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

 

දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදා පිලට කඩුලු 7 ක ජයක්
හලාවත මේරියන්ස් පිල - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 143
(රමේෂ් නිමන්ත 19, කසුන් විදුර 31, රවීන් යසස් නොදැවී 29, තික්ෂිල ද සිල්වා 23, රෂ්මික සිරිවර්ධන 35/3,‍ ශේහද සොයිසා 20/2, කෞමාල් නානායක්කාර 37/2)
යුද හමුදා පිල - ඕවර 32.4 කදී කඩුලු 3 ක් දැවී 144
(ශෙහාන් ප්‍රනාන්දු 18, දිනේෂ් චන්දිමාල් 61, අසේල ගුණරත්න නොදැවී 35)


කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පිලට කඩුලු 8 ක ජයක්
බී.අර්.සී. පිල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 153
(දුලාෂ් වීරසූරිය 52, මර්වින් අභිනාෂ් 20, උමේෂ් මොරායස් නොදැවී 38, මතීෂ පතිරණ 36/3, සම්පත් නිෂාන්ත 38/3, ලසිත් ඇඹුල්දෙණිය 42/2)
එන්.සී.සී. පිල - ඕවර 17 කදී කඩුලු 2 ක් දැවී 157  
(නිරෝෂන් දික්වැල්ල 48, ළහිරු උදාර 55, කමිල් මිෂාර නොදැවී 29, අහන් වික්‍රමසිංහ නොදැවී 22)


කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. - පානදුර තරගය ජය පැරදුමෙන් තොරයි
එස්.එස්.සී. පිල - ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී 237
(සදිෂ රාජපක්ෂ 29, ක්‍රිෂාන් සංජුල 41, නිපුන් ධනංජය නොදැවී 103, රනුද සෝමරත්න 16, රජීව වීරසිංහ 34/2, ට්‍රෙවීන් මැතිව් 43/2)
පානදුර පිල - ඕවර 12 කදී කඩුල්ලක් දැවී 67
(සිනෙත් ජයවර්ධන නොදැවී 18, විෂේන් හැළඹගේ 30, රමින්ද විජේසූරිය නොදැවී 17)


මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
බදුරලිය - නුගේගොඩ තරගය ජය පැරදුමෙන් තොරයි
බදුරලිය පිල - ඕවර 36 කදී කඩුලු 9 ක් දැවී 101
(අනුක් ප්‍රනාන්දු නොදැවී 66, චලන ද සිල්වා 16/4, ළහිරු ගමගේ 14/2, රාහුල් ගුණසේකර 23/2)
නු‍ගේගොඩ පිල - ඕවර 18 කදී කඩුලු 6 ක් දැවී 65
(චලන ද සිල්වා 24, කෙවින් පෙරේරා 19, අලංකාර අසංක 20/3, සසංක නිර්මාල් 07/2)


කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - පොලිස් තරගය ජය පැරදුමෙන් තොරයි
කෝල්ට්ස් පිල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 121
(ඇන්ජලෝ මැතිව්ස් 39, ධනංජය ලක්ෂාන් 26, මුදිත ලක්ෂාන් නොදැවී 29, දිලීප ජයලත් 15/3, දනාල් හේමානන්ද 24/3, නලින් ප්‍රියදර්ෂන 44/2)
පොලිස් පිල - ඕවර 10.3 කදී කඩුලු 2 ක් දැවී 65
(චතුරංග ජයතිලක 29, හේෂාන් ධනුෂ්ක නොදැවී 17)


කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී
මුවර්ස් - සෙබස්තියනයිට්ස් තරගය ජය පැරදුමෙන් තොරය
මුවර්ස් පිල - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 171
(කවිඳු කුලසේකර 61, මොහොමඩ් ශමාස් 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 53, ළහිරු සමරකෝන් 16, ඉසිත විජේසුන්දර 40/3, තරිඳු රත්නායක 27/2)
සෙබස්තියනයිට්ස් පිල - ඕවර 4.1 කදී කිසිවකු නොදැවී 10


කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. - ගුවන් හමුදා තරගය ජය පැරදුමෙන් තොරයි
සී.සී.සී. පිල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 253
(නිමේෂ ගුණසිංහ 61, සොනාල් දිනූෂ 53, වනිඳු හසරංග 24, චමිඳු විජේසිංහ 36, අංජල බණ්ඩාර 36, ලසඳ රුක්මාල් 43/3, මොවින් සුබසිංහ 45/3, ප්‍රවීන් ද සිල්වා 53/3)
ගුවන් හමුදා පිල - ඕවර 18.3 කදී කඩුලු 4 ක් දැවී 68
(චාමර ‍ප්‍රනාන්දු 19, කෙමිර විජේනායක නොදැවී 19, වනිඳු හසරංග 22/2)


අදහස් (0)

බංකුවේ තැබූ නිපුන්ගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.