Last Update  :  2025-12-05 11:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පූමාස්ලා මුහුදු රාජාළින් ගිල දමති

පූමාස්ලා මුහුදු රාජාළින් ගිල දමති

ශනුක අරවින්ද - 2015 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක පාපන්දු පිටියේ හිටපු විශිෂ්ටතම කී‍්‍රඩකයකු වන ඩියාගෝ මැරඩෝනාගේ ඔල්වරසන් හඩ ඉදිරියේ ලකුණු 45-16 කින් ටොංගා දූපත්වාසී මුහුදු රාජාලියන් පරාජය කළ ආජන්ටිනාවේ පූමාස්ලා කිසි කරදරයකින් තොරව තරගයක් ඉතිරිව තිබියදීම මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට රිංගා ගත්හ.

තමන්ගේ ජාතික රග්බි කණ්ඩායම වන ‘පූමාස්’ලා අවසන් අටට එක්වනු දැකීමේ රිසියෙන් ඊයේ ලෙසටර්හී කිං පවර් කී‍්‍රඩාංගණයට පැමිණි මැරඩෝනා ආ මොහොතේ සිටම පාපන්දු කී‍්‍රඩාවේ ඔහුට සුපුරුදු කෑ කෝ ගැසීමේ නිරතවූ අතර අන්තිම මිනිත්තුව දක්වාම එය නතරවූයේ නැත. හිඳගැනීමට අසුනක් තිබුණාට ඔහු වැඩිපුරම සිටියේ සිටගෙනය.

තරගයේ ආරම්භය නම් එහෙම පිටින්ම කණපිට හැරවූයේ මුහුදු රාජාලියන්ය. එය සිදුවූයේ 6 වැනි මිනිත්තුවේදී ආජන්ටිනා සීමාව තුල එකපොදියට දෙපිලේ කී‍්‍රඩකයන් පොරබද්දී පන්දුව ඩැහැගත් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක කර්ට් මොරාත් ඉතා දක්ෂ ලෙස පූමාස්ලාගේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා යාමෙන් තැබූ උත්සාහක දිනුමකිනි.  

එය ගෝලයක් බවට පත්කිරීමට ඔහු ගැසූ පා පහරින් පන්දුව ඉවත ගියත් පළමු මිනිත්තු 15 පුරා ලකුණු 5-0 කින් පෙරමුණ ගනිමින් පූමාස්ලාගේ හිසට ඉහළින් පියාඹන්නට මුහුදු රාජාලියෝ සමත්වූහ.

මේ අතරතුර 11 වැනි මිනිත්තුවේදී තවත් උත්සාහක දිනුමක් තැබීමට ඔවුන්ට ලැබුණු ඉතා අනගි අවස්ථාවක් ම`ග හැරී ගියේ ආජන්ටිනා සීමා ඉරට ඔන්න මෙන්න කියා තිබියදී ටානේ ටකූලූවා පන්දුව බිම අතහැර ගැනීම නිසාය.

දෙපිල අතර රග්බි පිටියේ පළමු හමුවේදීම සිදුවූ මේ විපරීතයෙන් කළබලයට පත් පූමාස්ලා ඊළගට කළේ එක හුස්මට මිනිත්තු 9 ක් තුල ගෝල දෙකකුත්, දඩුවම් පහර දෙකකුත් ලබාගනිමින් මුහුදු රාජාලියන් බිමට බැස්සවීමයි.

එය ආරම්භ වූයේ 17 වැනි මිනිත්තුවේදිය. පසුව තරගයේ කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක නිකොලස් සැන්චෙස් සාර්ථක කරගත් දඬුවම් පහරකිනි.

තවත් මිනිත්තු දෙකක් යාමට පෙර ෆුල්බෑක් කී‍්‍රඩක ජෝකීන් ටක්ලට් තැබූ අනගි උත්සාහක දිනුමත්, 21 වැනි මිනිත්තුවේදී ජුවාන් ඉම්හෝෆ් තැබූ උත්සාහක දිනුමත් දෙකම ගෝල බවට පත්කළ සැන්චේස් ඉන් නොනැවතී 25 වැනි මිනිත්තුවේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කරමින් ‘දවසේ තරුව’ බවට පත්වූයේ තරගය නැරැඹීමට පිටියට පැමිණ සිටි 30,000 ආසන්න කී‍්‍රඩාලෝලින්ගේ ආදරය දිනාගනිමිනි.

පූමාස්ලාගේ මේ පෙරළිකාර  කී‍්‍රඩා විලාශයෙන් බෙහෙවින් උද්දාමයට පත්වූයේ මැරඩෝනාය. 54 හැවිරිදි මේ විශිෂ්ටයා ඊයේ කාගෙත් අවධානයට ලක්වූ චරිතයක් බවට පත්ව සිටියේය.

ආජන්ටිනාවේ දස්කම්වලින් පසුබට නොවූ ටොංගා කී‍්‍රඩකයෝ නැවත තරගයට අවතීර්ණවීමට දැඩි සටන්කාමීත්වයක් පෙන්නුම් කරන්නට වූහ. මේ තරගයේ ජයග‍්‍රහණය ඊළග වටයට යාමේ බලාපොරොත්තු අලූත් කරවන බවද ඔවුහු දැන සිටියහ.

මූලික වටයේදී ඔවුන්ගේ අවසන් තරගය පැවැත්වෙන්නේ ලබන 9 වැනිදා ලෝක ශූර නවසීලන්තයේ  ඕල්බ්ලැක්ස්ලා සමගය. එහිදී තමන්ට කිසිදු ආකාරයක බුරුලක් නොලැබෙන බව හොඳින්ම දන්නා බැවින් ඊයේ තරගයේ දී මුහුදු රාජාලින් සටන් කළේ පණ එපා කියමිනි. අවසානයේ එහි සාර්ථක ඵල නෙලාගැනීමට 32 වැනි මිනිත්තුවේදී ඔවුහු සමත්වූයේ ආජන්ටිනා කි‍්‍රඩකයන්ගේ නීතිවිරෝධි කී‍්‍රඩා රටාව මත ලද දඩුවම් පහර සාර්ථක කරගත් මොරාත් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දැමීමෙනි.

අනතුරුව පළමු භාගය නිමාවීමට මිනිත්තු 3 ක් ඉතිරිව තිබියදී සොආනී ටොන්ගයුහා තැබූ උත්සාහක දිනුම කලෙකට අමතක නොවන තරම් විශිෂ්ට එකකි. එහෙත් එය ගෝලයක් බවට  සාර්ථක කරගැනීමට මොරාත් සමත්වූයේ නැත. ඔහු ඊයේ දිනය පුරා ගෝල් කණු හරහා යාමට පන්දුව එල්ල කිරිමේ දී දැක්වූයේ අසාමාන්‍ය දුර්වලතාවකි. දෙවැනි භාගයේදීත් එවැනි දුර්වල පහරවල් දෙකක්ම ඔහුගෙන් එල්ල විය.

ලකුණු 20-13 කින් පළමු භාගයේ පෙරමුණ ගත් පූමාස්ලාට දෙවැනි භාගය ආරම්භයේදීම ටොංගා පිලේ ද`ඩුවම් පහරක රස බැලීමට සිදුවූ අතර එවර නම් සාර්ථකව පහර ගැසූ මොරාත් සිය කණ්ඩායම ලකුණු සංඛ්‍යාව 16-20 කින් ඉදිරියට ගෙන ගියේ පූමාස්ලාගේ ලකුණු පරතරය පහත හෙලමිනි.

නැවතත් පෙරළිකාර දස්කම් දැක්වීමට පටන්ගත් සැන්චේස් ඊළග මිනිත්තුවේදී සිය තුන්වැනි දඩුවම් පහරත්, 52 වැනි මිනිත්තුවේදී සිවුවැනි දඬුවම් පහරත් සාර්ථක කරගත් අතර 63 වැනි මිනිත්තුවේදී විශිෂ්ඨ උත්සාහක දිනුමක්ද තබමින් පූමාස්ලාගේ ලකුණු සංඛ්‍යාව 31-16 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය.

ඉන් වඩාත් දිරිගත් සෙසු සගයන්ගේ කී‍්‍රඩා විලාශය ජයග‍්‍රාහී ස්වරූපයක් ගත් අතර 71 වැනි මිනිත්තුවේදී ජුලියන් මොන්ටොයෝ තැබූ උත්සාහක දිනුමත් සමග ආජන්ටිනාවේ ජයග‍්‍රහණය තහවුරු කෙරිණි.

නොසංසිඳුණු උත්සාහක දිනුම් පිපාසයකින් පෙලූණු පූමාස්ලා තරගයේ අන්තිම මිනිත්තුවේදිත් උත්සාහක දිනුමක් තබනතුරු පන්දුව අතහැරියේ නැත. අන්තිම මොහොතේත් වැඩ අධික වූ සැන්චේස් ඊයේ ලබාගත් ලකුණු ප‍්‍රමාණය පූමාස්ලාගේ මුලූ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටත් වඩා වැඩිය.

 


අදහස් (0)

පූමාස්ලා මුහුදු රාජාළින් ගිල දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.