Last Update  :  2026-01-09 21:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිහරඹ පුහුණුව වික්රම් රතෝර් යටතට
විස්සයි-20 ලෝක කුසලාන

පිතිහරඹ පුහුණුව වික්රම් රතෝර් යටතට

editorial - 2026 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම හිටපු පිතිහරඹ පුහුණුකරුවකු ද වූ වික්රම් රතෝර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් පත්කර තිබේ. “උපදේශන පදනමක් මත” කරනු ලැබ ඇති වික්රම් රතෝර් මහතාගේ සේවය මාස දෙක හමාරක කාලයක් සඳහා පමණක් වලංගු වේ. 

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් වික්රම් රතෝර් මහතා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පොරතුව, මේ මස 18 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වන වික්රම් රතෝර් මහතා මාර්තු 10 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් රැඳී සිටිනු ඇත. පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මාර්තු 8 වැනිදා අවසන් වීමට නියමිතය.

දිගින් දිගටම අසාර්ථක වන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම එම තත්ත්වයෙන් මුදවාගැනීම සඳහා මෑත කාලයේ දී බොහෝ පැලැස්තර අලවන ලදි. ලසිත් මාලිංග මහතා පන්දු යැවීමේ උපදේශන පුහුණුකරුවෙකු ලෙස රඳවාගෙන ඇති නමුත් ඔහුගේ ධූර කාලය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර අවසන් වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා වශයෙන් සිටි උපුල් චන්දන මහතා ඉවත් කර ඉන්දීය කණ්ඩායමේ හිටපු තවත් හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන ආර්. ශ්‍රීධර් මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. 

පසුගිය ජූලි මාසයේදී ජවසම්පන්න පිතිහරඹය (ඡදඇර ්‍යසඑඑසබට) සඳහාම විශේෂඥයකු වූ ජූලියන් වුඩ් මහතාගේ සේවයත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් නමුත් එයින් පසුව පැවැති විස්සයි-20 තරගාවලි දෙකක්ම පරාජය විය. වික්රම් රතෝර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් පත්කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන තිළිණ කණ්ඩම්බි මහතා වෙනුවටය. 

කෙසේ වෙතත් තරගයේ වීරයා වන අවස්ථාවකදීවත් මාධ්‍ය හමුවට පැමිණ ඉංග්‍රීසියෙන් කතාකරගත නොහැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විදේශීය පුහුණුකරුවන්ගේ උපදෙසේ කෙසේ පිළිපදිනු ඇත්ද යන්න වෙනමම විග්‍රහ කළ යුතු ප්‍රශ්නයකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවත් මෑතකදී වෙනස් කරන ලද අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරයා විය. එහෙත් හිටපු තේරීම් කමිටු සාමාජිකයන් වූ තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන මහත්වරු අලුත් තේරීම් කමිටුවට ඇතුළත් වූහ. වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ තීරණය වූයේ එතෙක් හිටපු සීමිත ඕවර නායකයා වූ චරිත් අසලංක වෙනුවට දසුන් ශානක කණ්ඩායමේ නායකත්වය දැරිය යුතු බවයි. 

සීමිත ඕවර තරග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති බලවත්ම ප්‍රශ්නය වන්නේ ‘නිළකුණු’ පන්දු සංඛ්‍යාව හසුරුවාගත නොහැකි වීමයි. පසුගිය බදාදා (7 වැනිදා) දඹුල්ලේදී පැවැති විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පන්දු 116 න් පන්දු 48 ක් නිළකුණු පන්දු විය. පන්දු 48 ක් යනු ඕවර 8 කි. ඕවර 20 කින් ඕවර 8 ක් නිළකුණු ඕවර වූ විට පුවරුවේ ලකුණු සංඛ්‍යාව ඉහළ යන්නේ කෙසේ ද යන්න සරළ ප්‍රශ්නයකි. 

මෙම තත්ත්වය වෙනස් කිරීමට වික්රම් රතෝර් මහතාට හෝ හැකියාව ඇතොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ යහපතට හේතු වනු ඇත. 

විස්සයි-20 ක්‍රිකට් ලෝ පුරා ප්‍රචලිත වීමට පෙර, පොතේ විදිහට ක්‍රිකට් ගැසූ පරණ ඉස්කෝලේ ක්‍රීඩකයකු වූ වික්රම්, 1996 සහ 1997 අතර ටෙස්ට් තරග හයක් සහ එක්දින තරග හතක් ක්‍රීඩා කළේය. හෙතෙම පසුකාලීනව පුහුණුකරුවකු ලෙසින් ද කටයුතු කළේය. 

වසර 2024 බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමත් සමගින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමගින් රතෝර්ට තිබූ කොන්ත්‍රාත්තුව අවසන් විය. පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් ඔහු ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරුවන් වූ රවී ශාස්ත්‍රි සහ රාහුල් ද්‍රාවිඩ් දෙදෙනා සමඟම කටයුතු කළේය. පසුව කෙටි කාලයක් නවසීලන්ත පිලේත් පිතිහරඹ පුහුණුකරුවා වශයෙන් ද වික්රම් කටයුතු කළේය. 

 


අදහස් (0)

පිතිහරඹ පුහුණුව වික්රම් රතෝර් යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.