Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවන්ගේ සටනේ ජය හයිද්‍රාබාද් පිලට
අයි.පී.එල්. - 2024

පිතිකරුවන්ගේ සටනේ ජය හයිද්‍රාබාද් පිලට

editorial - 2024 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 30 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අතර බෙංගලූරු නුවර එම්. චන්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ සිවුවැනි ජය මෙන්ම බෙංගලූරු කණ්ඩායම ලැබූ හයවැනි පරාජයද මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බෙංගලූරු කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 262 ක් පමණි. කෙසේ වුවත් එය අයි.පී.එල්. ඉතිහාසයේ හඹායෑමකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් විය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ දිනේෂ් කාර්තික් පන්දු 35 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 83 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ විරාට් කෝලි හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග පන්දු 20 කින් ලකුණු 42 ක්ද, නායක ෆෆ් ඩුප්ලෙසී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග පන්දු 28 කින් ලකුණු 62 ක්ද රැස්කළ අතර බෙංගලූරු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුහු සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 287 ක් ලබාගත් අතර එය අයි.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් පන්දු 41 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 102 ක් රැස්කළේය. 

අභිෂේක් ශර්මා (34) සමග එක්ව ආරම්ක කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෙඩ්, ඉන් නොනැවතී හෙන්රිච් ක්ලාසන් (67) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 31 කදී වාර්තා වූ ක්ලසන්ගේ අර්ධ ශතකය හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. 

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් ඒඩ්න් මාක්‍රම් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද, අම්බුල් සමාඩ් පන්දු 10 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 37 ක්ද රැස්කරමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු 280 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 287 
(අභිෂේක් ශර්මා 34, ට්‍රැවීස් හෙඩ් 102, හෙන්රිච් ක්ලාසන් 67, ඒඩ්න් මාක්‍රම් නොදැවී 32, අබ්දුල් සමාඩ් නොදැවී 32, ලොකී ෆර්ගසන් 52/2)

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 262 
(විරාට් කෝලි 42, ෆෆ් ඩුප්ලෙසි 62, දිනේෂ් කාර්තික් 83, මහිපාල් ලොම්රර් 19, අනූජ් රාවට් නොදැවී 25, පැට් කමින්ස් 43/3, මායන්ක් මාර්කන්ඩේ 46/2)

-036


අදහස් (0)

පිතිකරුවන්ගේ සටනේ ජය හයිද්‍රාබාද් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.