Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිතිකරුවන්ගේ අඩුව පෙනෙයි

පිතිකරුවන්ගේ අඩුව පෙනෙයි

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

පන්දු යවන්නන් තමන්ගේ කාරිය අකුරටම ඉටු කළ නමුත් විස්සයි-20 තරගයක් ජයග්‍රහණය කරා ගෙනයා හැකි පිතිකරුවන් නොමැති වීමේ අඩුව යළිත් වරක් මොනවට ප්‍රදර්ශනය වූ පළමු තරගයේදී ඉන්දිය ක්‍රීඩකයෝ ලකුණු 38 ක පහසු ජයක් ලබාගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 165 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 18.3 කදී ලකුණු 126 කට දැවී ගියේය.

මෙම තරගයේදී ලබාගත් ජයග්‍රහණයත් සමගින් ඉන්දියානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී මුහුණ දුන් හයවැනි විස්සයි-20 පරාජය මෙය වන අතර පිට පිටම ලැබූ පස්වැනි පරාජයද වෙයි. පරාජය වූ විස්සයි-20 තරග 5 දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුනු රැස්කිරීම් සටහන් වූයේ 131, 129, 111, 91 සහ 126 ක් වශයෙනි. මෙම තරග පහේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 131 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට විස්සයි-20 තරගයක් ජයගත්තේ මාර්තු මස 5 වැනිදා කොදෙව් පිලට එරෙහිව කුලිජ්හිදීය. ඒ ශ්‍රී ලංකා පිතිකරුවන් මේ වසරේදී ලකුණු 150 ඉක්මවා (160/6) රැස්කළ එකම අවස්ථාවයි.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවකදී වුවත් ඉන්දීය පිල ලකුණු 164 කදී නවත්වා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය. අකිල ධනංජයගේ ඕවර 3 කින් ලකුණු 40 ක් උදුරා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් වූ නමුත් අනෙක් සියලුම පන්දු යවන්නෝ තමන්ගේ ඕවර 4 දී දුන් ලකුණු සංඛ්‍යාව 34 කට අඩුවෙන් තබාගත්හ. අවසන් ඕවර 5 දී ඉන්දියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 43 ක් පමණි. එය කදිම විස්සයි-20 පන්දු යැවීමක් විය.

අවිශ්ක ප්‍රනාන්දු පිටියේ සිටියදී ශ්‍රී ලංකා පිල ඕවර 5 කින් ලකුණු 44 ක් ලබා සිටියද අවිශ්ක දැවී යාමත් සමගම ලකුණු වේගය අඩාල විය. ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකා පිල ලබා සිටියේ ලකුණු 64 ක් පමණි. තරගය ජයගැනීමට නම් අවසන් ඕවර 10 දී තවත් ලකුණු 100 ක් ලබාගත යුතුව තිබිණ. එහෙත් පන්දු 51 කදී පිතිකරුවෝ හත් දෙනෙක්ම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 126 කට ලඝු කරමිනි.

හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සහිතව පන්දු 26 කින් ලකුණු 44 ක් ලබාගැනීමට චරිත් අසලංක සමත් වූවත් ශ්‍රී ලංකා නායකයා තරගයෙන් පසුව කීවේත් ඉනිම මැදදී නිලකුණු පන්දු වැඩිවීම පාලනය කරගත නොහැකි වූ බවයි. ශ්‍රී ලංකා ඉනිමේ නිලකුණු පන්දු 46 ක් තිබිණ.

 


අදහස් (0)

පිතිකරුවන්ගේ අඩුව පෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.