Last Update  :  2026-02-26 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපැදි විනිසුරු සංගමය සවාරියෙන් ඉවත් වෙයි

පාපැදි විනිසුරු සංගමය සවාරියෙන් ඉවත් වෙයි

editorial - 2026 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හෙට (27) මීගමුවේදී ආරම්භ වන ගුවන් හමුදා පාපැදි සවාරියේ විනිශ්චය හා තීරක කටයුතු වලින් ඉවත්වීමට ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමය තීරණය කර තිබේ.

  ඒ පිළිබදව ‘ලංකාදීප’ය කළ  විමසුමකදී එහි සභාපති උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවැසුවේ තරග සංවිධායකයන් ජාත්‍යන්තර පාපැදි තරග නීති උල්ලංඝනය වන ආකාරයෙන් පාපැදි සවාරිය පැවැත්වීමට දරන උත්සාහයට එකඟවිය නොහැකි නිසා පාපැදි විනිසුරු සංගමය මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ විනිශ්චය කටයුතු වලින් ඉවත්වීමට මේ වන විට තීරණය කර තිබෙන බවයි.

ජාත්‍යන්තර පාපැදි තරග නීති රීති අනුව පාපැදි තරගයකට (පිරිමි) කණ්ඩායමක් සූදානම් කිරීමේදී එහි රැඳි සිටිය හැකි උපරිම ක්‍රීඩකයන් ගණන හයක් වන අතර අවමය හතරකි.එම නියමය උල්ලංඝනය වන අයුරින් මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියට එක් වන කණ්ඩායමක ක්‍රීඩකයන් ගණන 10 ක් දක්වා වැඩි කිරීමට තරග සංවිධායකයන් ගෙන තිබෙන බව කියන තීරණයට එකඟ විය නොහැකි බව උපුල් චන්දන ප්‍රියනාත් මහතා පවසයි.

මෙම ගැටළුව විසදා ගැනීම සදහා පාපැදි විනිසුරු සංගමය යෝජනා කර සිටි පරිදි මෙවර තරග නීති රිති මාලාවෙන් ‘ජාත්‍යන්තර තරග නීති රීති වලට අනුකූලව සවාරිය පැවැත්වේ”‍ යන වගන්තිය ඉවත් කරන ලෙස සිය සංගමය කළ ඉල්ලීමට තරග සංවිධායකයන්ගෙන් ප්‍රතිචාර පළ නොවූ බව උපුල් චන්දන ප්‍රියනාත් මහතා ඊයේ පස්වරුවේදී පැවැසීය.

ඒ හේතුවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති බව කියන පාපැදි විනිසුරු හා තීරක මඩුල්ලක් හෙට ආරම්භවීමට නියමිත ගුවන් හමුදා පාපැදි සවාරියට යෙදවීමට තරග සංවිධායකයන් විසින් තීරණය කර ඇතැයිද වාර්තාවේ.

මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියේ ප්‍රධාන විනිසුරු ලෙස නිර්දේශ ලබා සිටි උපුල් චන්දන මහතා පැවැසුවේ  සංවිධායකයන්ගේ තීරණයෙන් තරගයේදි කණ්ඩායම් අතර අසමාන තත්ත්වයක්  ඇති විය හැකි බැවින් හා එය තරග තීරණයන්ට බලපෑම් කළ හැකි බැවින්ද පාපැදි විනිසුරු සංගමය සංවිධායකයන් හා එකග නොවූ බවයි.

ඒ පිළිබදව දකුණු ආසියාවේ එකම අන්තර්ජාතික පාපැදි විනිසුරු වන එන්. කරුණාරත්න මහතා සියළු පාර්ශව වෙත එකගවිය හැකි වන පරිදි සාධාරණ  තීරණයක් ලබාදී තිබියදී ඇතිවී තිබෙන තත්වය පිළිබදව පාපැදි විනිසුරු සංගමය සිය බලවත් කකස්සල්ල පළ කරන බව ඒ පිළිබදව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට ලිපියක් යොමු කරන උපුල් චන්දන මහතා පවසයි.


අදහස් (0)

පාපැදි විනිසුරු සංගමය සවාරියෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.