Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාපන්දු මූලස්ථානයේ ලිපිගොනු බැද්දගානට පියාඹයි

පාපන්දු මූලස්ථානයේ ලිපිගොනු බැද්දගානට පියාඹයි

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ටොරින්ටන් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පාපන්දු ආයතන මූලස්ථානයෙන් ලිපිගොනු කිහිපයක් අනවසරයෙන් රැගෙන ගිය බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් අද (20) කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. එසේ රැගෙන ගිය බව කියන ලිපිගොනු බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයට ගෙනවිත් තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින්නේ හිටපු ජාතික පාපන්දු පුහුණුකරුවකු ඇතුළු මූලස්ථානයේ සේවය කරන නිලධාරීන් තිදෙනකු බවත් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය මෙම 29 වැනිදාට යෙදී තිබියදී මෙම ලිපිගොනු පාපන්දු මූලස්ථානයෙන් රැගෙන යාම සැක සහිත බව පොලිස් පැමිණිල්ල කළ පාර්ශ්වය කියයි.

ටොරින්ටන් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා පාපන්දු ආයතන මූලස්ථානයේ පාලන කටයුතු මේ වනවිට පවත්වාගෙන යන්නේ විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් විසිනි. ඒ සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වෙන නිලවරණයෙන් පත්වන නව විධායක සභාවට එහි කටයුතු පැවරෙන තෙක්ය.

මේ වනවිට පාපන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව රැස්වී විරෝධතා විභාග කරමින් සිටියි.

නිලවරණයට තරග වදින දෙපාර්ශ්වයෙන්ම එකිනෙකාට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශ අභියාචනා කමිටුවට මේ වනවිට විරෝධතා ඉදිරිපත් කර තිබේ. ඒ නිලවරණ කමිටුවට ඉදිරිපත් වූ විරෝධතා විභාග කර තීරණ තීන්දු ලබාදීමෙන් පසුවය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා මහතා ජස්වර් උමාර් පාර්ශ්වයේ නාමයෝජනා පහකට  විරෝධතා යොමු කර තිබේ. කූට ලේඛන ඉදිරිපත් කරමින් විධායක සභික ධුරයකට නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයකුට එරෙහිව එහිදී අනුර ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද කටයුතු කර තිබේ. කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් එම ඒකකය මෙන්ම අභියාචනා කමිටුව විමර්ශන සිදු කරන අතරම නාමයෝජනා ඉවත් කර ගැනීමට ඉහත අපේක්ෂකයා කටයුතු කර තිබේ.

සභාපති අපේක්ෂක ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයෙන් දක්ෂිත සුමතිපාල පාර්ශ්වයේ නාමයෝජනා ගණනාවකට එරෙහිව අභියාචනා කමිටුවට විරෝධතා බාර දී තිබේ. එසේම එම පාර්ශ්වයෙන් දක්ෂිත සුමතිපාල මහතාගේ පාර්ශ්වයේ නාමයෝජනාවලට එරෙහිව ද විරෝධතා බාර දී තිබේ. ඒ අතර නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනාව ඇතුළුව ප්‍රතික්ෂේප කළ සිය පාර්ශ්වයේ නාමයෝජනා හතරක් සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස දක්ෂිත සුමතිපාල මහතා අභියාචනා කමිටුවෙන් ඉල්ලා තිබේ.

ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වයේ ප්‍රකාශකයකු ‘ලංකාදීප’යට පැවැසුවේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් පනවා තිබෙන කොන්දේසි හා රෙගුලාසිවලට අනුවත් පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාවට අනුවත් ක්‍රීඩා අමාත්‍යාංශය හමුවේ නැවත පාපන්දු නිලවරණය නාමයෝජනා සලකා බැලීම මතභේදාත්මක වන බවයි. ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර තිබෙන අතිවිශේෂ ගැසට් නිවේදනය අත්හිටුවා තිබෙන බැවින් එම ගැසට් නිවේදනය යොදා ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයට ඉදිරිපත්ව තිබෙන විරෝධතා සම්බන්ධයෙන් තීරණ තීන්දු ගැනීමට නොහැකි බවත් එම පාර්ශ්වය මේ වනවිට ප්‍රබල තර්කයක් මතු කර තිබේ.

කෙසේ වුවත් මෙම තර්කය ප්‍රතික්ෂේප කරන දක්ෂිත සුමතිපාල පාර්ශ්වය පෙන්වා දෙන්නේ ක්‍රීඩා ඇමැතිවරයාගේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු 41 වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා ඇමැතිවරයා සාදන ලද නියෝග අදාළ එකී ගැසට් නිවේදනය ඔක්තෝබර් 31 වැනිදා වන තෙක් පමණක් අත්හිටුවා තිබෙන බවත්, එදිනට පසුව එහි අඩංගු නියෝග හා රෙගුලාසි නැවත බලගන්වෙන බවයි. එහෙත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය අනුමත කළ ශ්‍රී ලංකාවේ සංශෝධිත පාපන්දු ව්‍යවස්ථාවට අනුවත් ක්‍රීඩා අමාත්‍යාංශය එකී අභියාචනා විභාග කිරීම නොගැලපෙන බව ජස්වර් උමාර් මහතාගේ පාර්ශ්වය පෙන්වා දේ.


අදහස් (0)

පාපන්දු මූලස්ථානයේ ලිපිගොනු බැද්දගානට පියාඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.