Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය ජයග්‍රහණයකින් ගමන් අරඹයි
ලෝක කුසලාන රග්බි

ප්‍රංශය ජයග්‍රහණයකින් ගමන් අරඹයි

editorial - 2023 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිකුරාදා පැවති දැඩි උණුසුම් කාලගුණයට තරගයේ උණුසුමත් එක්කළ ප්‍රංශ ක්‍රීඩකයෝ ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආරම්භක තරඟයේදීම නවසීලන්තය ලකුණු 27-13 කින් පරාජය කළහ. තුන් වතාවක් ලෝක කුසලාන අවසන් මහ තරගවලට ක්‍රීඩා කළ නමුත් ඒ එක් වතාවකදීවත් කුසලානය දිනාගැනීමට අපොහොසත් වූ ප්‍රංශය, මෙවර තරගාවලියේදී ලෝක කුසලානය දිනා ගැනීමේ උත්සාහයට ආකර්ෂණීය ආරම්භයක් දුන්හ.
 
ප්‍රංශයේ ප්‍රධානතම ක්‍රීඩාංගණය වන ‘ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස්’ ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන්නට සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාව මධ්‍යයේ වික්ෂිප්තව සිටි තෝමස් රාමෝස් සිය පා පහර වලින් ලකුණු 17 ක් ලබා ගත් අතර ඩේමියන් පීනෝඩ් සහ මෙල්වින් ජැමිනෙට් උත්සාහක දිනුම බැගින් ලබා ගත්හ.

නවසීලන්තය වෙනුවෙන් මාර්ක් ටෙලියා උත්සාහක දිනුම් දෙකක් ලබාගත් නමුත් 74 වැනි විනාඩියේදී , රමෝස්ගේ දඬුවම් පහරින් පසුව ලකණු සංඛ්‍යාව 22-13 ක් වූයෙන් ප්‍රංශ ක්‍රීඩා ලෝලීහු සතුටින් උද්දාමයට පත්වූයේ වැඩිපුර යමක් කිරීම සඳහා නවසීලන්තයට කාලය ඉතිරි නොවූ බව දත් හෙයිනි. එයින් විනාඩි 4 කට පසුව මෙල්වින් ජැමිනෙට් ලබාගත් උත්සාහ දිනුම නිසා ලකුණු සංඛ්‍යාව 27-13 ක් දක්වා ඉදිරියට ගියද, අවසන් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කරගැනීමට මෙල්වින් අපොහොසත් විය.

තරගය ආරම්භ වී දෙවැනි විනාඩියේදීම මාක් ටෙලියා ලබාගත් උත්සාහක දිනුමත් සමගින් නවසීලන්තය 5-0 ක් ලෙසින් ඉදිරියට පැමිණියේය. එහෙත් පස්වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගත් තෝමස් රාමෝස් 5-3 ක් ලෙසින් ලකුණු පුවරුවේ ප්‍රංශ පැත්ත ක්‍රියාත්මක කළේය. 20 වැනි විනාඩියේදී රාමෝස්ගේ දඬුවම් පහරකින් 6-5 ක් ලෙස ප්‍රංශය ඉදිරියට පැමිණියද, දඬුවම් පහරක් සාර්ථක කරගත් රිචී මවුන්ගා 6-8 ක් ලෙසින් නවසීලන්තය ඉදිරියට ගෙන ගියේය.  29 වැනි විනාඩියේදී රාමෝස් යළිත් වතාවක් ප්‍රංශය පෙරමුණට ඇදගත්තේය.

දෙවැනි අර්ධය ආරම්භයේදීම මාක් ටෙලීයා ලබාගත් උත්සාහක දිනුම නිසා නවසීලන්තය 9-13 ක් ලෙසින් ඉදිරියට ගියද එය ඔවුන්ගේ අවසන් සාර්ථකත්වය විය. ඩේමියන් පීනොඩ්ගේ උත්සාහක දිනුමත් සමගින්, 55 වැනි විනාඩියේදී පෙරට පැමිණි ප්‍රංශය, තරගයේ අවසානය දක්වාම එය රැකගත්තේ මව්බිමේදී ක්‍රීඩා කරන කල්හි ‘කාගේත් තේරීම’ ප්‍රංශය යන්න ප්‍රංශ ක්‍රීඩකයෝ ඔප්පු කරමිනි.

“පිළිමළුන් පිටුදැකීමේ තරගයක් නොවුණත් ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කිරීම වැදගත්” යැයි ප්‍රංශ ප්‍රධාන පුහුණුකරු ෆෙබියන් ගැල්ති පැවසීය.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන පළමු වටයේ තරගයකින් පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. එහෙත් නවසීලන්ත පුහුණුකරු ඉයන් ෆොස්ටර් කීවේ වෙනත් කතාවකි.

 “පසුගිය කාලයේ අපි අපගේ මූලික වටයේ තරඟ සියල්ල ජය ගත්තා මිස තරඟාවලිය ජයග්‍රහණය කළේ නැහැ. ඒත් අපේ ඉලක්කය මේ තරඟාවලිය ජයග්‍රහණය කිරීමයි” යයි ඉයන් ෆොස්ටර් කීවේය.

මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලිය ප්‍රහාරක රග්බි ක්‍රීඩාවේ ප්‍රදර්ශනයක් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.

වත්මන් ලෝක ශූරයන් වන දකුණු අප්‍රිකාව, ලොව අංක එකේ කණ්ඩායම වන අයර්ලන්තය, අනාවැකි පළ කළ නොහැකි සත්කාරකයින් වන ප්‍රංශය සහ අන්තර්ජාතික රග්බි පිටියේ කවදත් කාගේත් තේරීම වන ‘ඕල් බ්ලැක්ස්’ හෙවත් නවසීලන්ත කණ්ඩායම යන හතරෙන් වඩා ඉදිරියෙන් සිටින්නේ කවුරුන්ද යන්න වෙන් කරගැනීම බුකිකරුවන්ට පවා අභියෝගයක් වී තිබේ. එහෙත් ආරම්භක තරගයේදීම ප්‍රංශය දැක්වූ දස්කම් ක්‍රීඩා ලෝලීන්ට තම තමන්ගේ කණ්ඩායම් පිළිබඳ තක්සේරුවක් ලබාගැනීමේදී යම් තරමක අස්වැසිල්ලක් තිබේ.

ප්‍රංශ නායක සහ ඇන්තනි ඩුපොන්ට් පැවසුවේ තම කණ්ඩායම ඉදිරියට යමින් සිටින බවයි.
”අපි දන්නවා අපිට වඩා හොඳට කරන්න පුළුවන් කියලා” ඩුපොන්ට් පැවසීය.

තරඟාවලියේ මුල් අදියර තරමක් උණුසුම් දේශගුණික තත්ත්වයන් යටතේ පැවැත්වෙයි. ප්‍රංශය සහ නවසීලන්තය අතර තරගය ආරම්භ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 පමණ විය.

කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය උණුසුම මෙන්ම දහදිය දැමීම හේතුවෙන් 2019 ජපානයේ පැවති ලෝක කුසලාන තරඟාවලියේ දී මෙන් ක්‍රීඩකයින්ට තරගයේ විවේකයේදී සිසිල් පැන් ගැනීමට අවසර ලැබේ.

-213


අදහස් (0)

ප්‍රංශය ජයග්‍රහණයකින් ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.