Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය අපරාජිත වාර්තාව රැකගනී

ප්‍රංශය අපරාජිත වාර්තාව රැකගනී

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හයකොන් රග්බි ශූරතාවලියේදී සිය මංගල උත්සාහක දිනුම තැබීමට ෆ්ලයි හාෆ් ක්‍රීඩක රොමේන් එන්ටැමැක් සමත්වීම නිසා තව දුරටත් බලාපොරොත්තු රඳවා ගත් ප්‍රංශය සිය භූමියේදී ස්කොට්ලන්තයට පරාජය නොවී සිටීමේ වාර්තාව රැක ගනිමින් ලකුණු 27-10 කින් තුන්වැනි වටයේ තරගය ජයගැනීමට සමත්විය.

ප්‍රංශය ගෝල දිනුම් දෙකකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින ලකුණු ලබාගනිද්දී ස්කොට්ලන්තයට සාර්ථක කරගත හැකිවූයේ ගෝලයක් සහ දඬුවම් පහරක් පමණි.

ප්‍රංශයේ හිටපු විශිෂ්ඨ ක්‍රීඩක එමිල්ගේ පුත්‍ර රත්නය වන මේ යොවුන් ක්‍රීඩකයා ජැක් බෲනල් සිය කණ්ඩායමේ සිදුකළ වෙනස්කම් 4 කින් තරගයට එක්වීමේ වාසනාව උදාකරගත්තේය. ලෙස් බ්ලූස්ලා වෙනුවෙන් රොමේන් සිය මංගල උත්සාහක දිනුම තැබුවේ ඇන්තනි ඩුපොන්ට් සමග කදිම සම්බන්ධතාවක් ඇති කරගනිමිනි.

තරගයේ 12 වැනි මිනිත්තුවේදී ඔහු තැබූ උත්සාහක දිනුමෙන් හිටි හැටියේම ජීවය ලද ලෙස් බ්ලූස්ලා ඉන් අනතුරුව ජයග්‍රහණය අත්කරගන්නා තුරුම ආපසු හැරී බැලුවේ නැත. එම උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ තෝමස් රාමෝස් ඊට මිනිත්තු තුනකට පසුව දඬුවම් පහරක් ද සාර්ථක කරගැනීමත් සමග ස්කොට්ලන්ත ක්‍රීඩකයන්ගේ කළබලය බලා සිටියදීම ඉහළ ගියේය.

ලකුණු 10-0 කින් පෙරමුණ ගත් ප්‍රංශය හමුවේ පළමු භාගය නිමාවනවිට ස්කොට්ලන්තයට ලබාගත හැකිවූයේ 25 වැනි මිනිත්තුවේදී ග්‍රෙග් ලඞ්ලෝ සාර්ථක කරගත් දඬුවම් පහරින් ලැබුණු ලකුණු 3 පමණි.

27 වැනි මිනිත්තුවේදී කහ කාඞ් පතෙන් සංග්‍රහ ලබා පිටියෙන් ඉවත්වූ යොආන් හියුගට් ඊළඟට දෙවැනි භාගයේ ආරම්භයේදී තැබූ උත්සාහක දිනුමත් සමග තව දුරටත් ඉදිරියට ගිය ලෙස් බ්ලූස්ලා 74 වැනි මිනිත්තුවේදිත්, අතිරේක කාලයේදිත් ග්‍රෙගරි ඕල්ඩි්‍රෆ්ට් තැබූ උත්සාහක දිනුම් ද්විත්වයට පින්සිඳු වන්නට ස්කොට්ලන්තයට එරෙහිව සිය භූමියේ අපරාජිත භාවය රැක ගත්හ.

වසර 1999 සිට මේ දක්ව ප්‍රංශ අගනුවරදි ජයග්‍රහණයක් නොලද ස්කොට්ලන්තයේ බලාපොරොත්තු රඳවා තැබීමට අලි ප්‍රයිස් 77 වැනි මිනිත්තුවේදී තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් ඇඩම් හේස්ටින්ස් සමත්වූවත් ලෙස් බ්ලූස්ලා පරාජය කිරීමට එය කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

 

(සැකසුම : මොහාන් ප්‍රනාන්දු)


අදහස් (0)

ප්‍රංශය අපරාජිත වාර්තාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.