Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පිත්තක් පිළිස්සූ කාන්තා ‘අළු බඳුනේ’ කතාව

පිත්තක් පිළිස්සූ කාන්තා ‘අළු බඳුනේ’ කතාව

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන සුප‍්‍රකට ‘අළුබඳුන’ ටෙස්ට් සටනට සමගාමීව දෙරටේ සුදු ළඳුන්ගේ ටෙස්ට් තරගමාලාවක් ද පැවැත්වෙන බව කී දෙනෙක් දනිත්ද? එය ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ අවධානයකට ලක්වූ එකක් වූවත් කවදත් කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එතරම් ඇල්මක් නොදක්වන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩාලෝලීන්ට නම් තරමක් නුහුරුය.

‘අළු බඳුන’ ටෙස්ට් තරගමාලාව මෙන්ම දෙරටේ කාන්තාවන්ගේ ටෙස්ට් තරගමාලාවේ ද පසුපස ඇත්තේ ඉතා රසවත් කතාන්තරයකි.

එංගලන්තය සහ - ඔස්ටේ‍්‍රලියාව අතර කාන්තා ටෙස්ට් තරගයක් පවත්වනු ලැබුවේ 1931 වසරේදීය. අනතුරුව 1934-35 කාලයේ දෙරටේ පළමු කාන්තා ටෙස්ට් තරගමාලාව පැවැත්විණි. එවර එංගලන්ත පිලේ නායිකාව ලෙස කටයුතු කරනු ලැබු බෙටී ආච්ඬේල් මෙසේ කීවාය.

”ක‍්‍රීඩාවට ඇති ලැදියාවට මෙහෙම සෙල්ලම් කළා මිසක් පිරිමි වගේ ‘අළුබඳුනකට’ ටෙස්ට් ගහන්න නම් අපි කැමැති නෑ”
එදා එංගලන්ත පිලේ නායිකාව පැවැසූ පරිදි දෙරටේ ළඳුන් මේ ටෙස්ට් තරගමාලාව 1998 දක්වා කිසිදු අළුබඳුනකින් තොරව පවත්වාගෙන යාමට සමත්වූහ. එහෙත් 1998 වසරේ ලෝඞ්ස් පිටියේ පැවැති කාන්තා ටෙස්ට් තරගයේ දී සියල්ල වෙනස් විය. දෙරටේ ක‍්‍රිකට් ළඳුන්ට ද අළු නැතිව බැරිවිය.

ඒ තරගයට පෙර දෙපිලේ ක‍්‍රීඩිකාවන්ගේ අස්සන් සහිත සමරු පිත්තක් පුළුස්සා දැමීමට කටයුතු කෙරුණු අතර ඉන් ලබාගත් අළු ලීයෙන් තැනූ ක‍්‍රිකට් පන්දුවක අනුරුවක් තුල තැන්පත් කොට එය කුසලානයක් බවට පත්කර ගෙන තිබිණි.
එදා එසේ කළත්, නිසි පිළිවෙළට අළුබඳුනක් නිර්මාණය කරමින් නිල වශයෙන් අළුබඳුන කාන්තා ටෙස්ට් තරගමාලාව ආරම්භ වූයේ 2013 වසරේදීය.

ඒ සමගම එය සැබෑ ‘අළු බඳුන’ තරගාවලිය මෙන් තරගයෙන් තරගයට ජය පරාජය විසඳෙන එකක් නොව යම්කිසි ප‍්‍රසාද ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයක් අනුව ජය පරාජය තීරණය කෙරෙන තරගමාලාවක් බවට පත්විය. ඊට ටෙස්ට් තරග පමණක් නොව එක්දින තරග හා විස්සයි20 තරග ද ඇතුළත් කෙරිණි. ටෙස්ට් තරග ජයග‍්‍රහණයකට ලකුණු 6 ක්ද, එක්දින හා විස්සයි20 තරග ජයග‍්‍රහණයට ලකුණු 2 බැගින් ලබා දීමට තීරණය විය. ජයපරාජයෙන් තොරව නිමාවට පත්වන ටෙස්ට් තරගයක දී දෙපිලටම ලකුණු 2 බැගින් හිමිවිය.

2001 වසර දක්වා වාර්ෂිකව පැවැති මේ කාන්තා ටෙස්ට් තරගමාලාව අනතුරුව වසරකට දෙවතාවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. ඒ සමගම එතෙක් තිබූ ටෙස්ට් තරග 1 සිට 5 ක් දක්වා  ඕනෑම ප‍්‍රමාණයක් ක‍්‍රීඩා කිරීමේ පිළිවෙත අතහැර දමා එය තරගයකට හෝ දෙකකට සීමා කිරීමට ද තීරණය කෙරිණි.

යුගයෙන් යුගයට කෙතරම් වෙනස්කම්වලට භාජනය වූවත් ‘අළුබඳුන’ කාන්තා ක‍්‍රිකට්වල ආධිපත්‍යය නම් කවදත් තිබුණේ ඔස්ටේ‍්‍රලියානු කාන්තාවන් අතය. ඔවුන් අභිබවා යාම එංගලන්තයේ කාන්තාවන්ට කෙතරම් අසීරුවූවාද යත් වසර 42 ක් පුරා ටෙස්ට් තරගමාලාවක් ජයගැනීමට නොහැකිවී තිබිණි. අන්තිමේ දී ඔස්ටේ‍්‍රලියාවේ ආධිපත්‍යය බිඳ වැටුණේ 2005 දී ය.
එහිදී එංගලන්ත ක‍්‍රීඩිකාවන් තරගය ජයගත් අතර පිරිමි තරගමාලාවෙන් ද එංගලන්තයට ජය හිමිවිය. එය එංගලන්තයට ඉතා ප‍්‍රීතිමත් සිදුවීමක් විය.

විවෘත බස් රථයක නැගුණු එංගලන්ත ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාලෝලීන්ට ආචාර කරමින් ලන්ඩන් නුවර වීදි පුරා ගමන් කළ අතර ඔස්ටේ‍්‍රලියානු කාන්තාවන් පරාජය කළ එංගලන්ත ක‍්‍රීඩිකාවන් ද ඔවුන් පසුපස තවත් විවෘත බස් රථයක ගමන් කරන්නට වූහ.
අනතුරුව 2007, 2009 වසරවල දී දෙපිල අතර තරගාවලියට ඇතුළත්ව තිබූ එකම ටෙස්ට් තරගය ජයගෙන අළුබඳුන රැුක ගැනීමට එංගලන්තය සමත්වූ අතර 2011 හා 2013 ටෙස්ට් තරග ජයගත් ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ අළුබඳුන අත්පත් කරගත්හ. දෙරට අතර එතෙක් මෙතෙක් පැවැති කාන්තා ටෙස්ට් තරගමාලා 20 කින් 7ක් ජයගැනීමට ඔස්ටේ‍්‍රලියාව සමත්ව සිටින අතර එංගලන්තයට තරගමාලා 6ක ජයහිමිවිය. ඉතිරි තරග ජයපරාජයෙන් තොරව නිමාවට පත්ව තිබිණි.
පිරිමි තරගමාලාවට සමගාමීව මෙවර  කාන්තා අළුබඳුන තරගමාලාව ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග මුහුණුවර තුන යටතේ පැවැත්වෙන තුන්වැන්න ලෙස සැළකේ.

මෙවර තරගමාලාවේ විශේෂත්වය වන්නේ මීට පෙර ටෙස්ට් තරග ජයග‍්‍රහණයක දී ලබාදුන් ප‍්‍රසාද ලකුණු 6 ලකුණු 4 දක්වා පහළ දමා තිබීමය. නව ක‍්‍රමය යටතේ එක්දින හා විස්සයි20 තරග කෙරෙහි දෙපිලෙහිම උනන්දුව වැඩි වී තිබේ.

ලබන ජූලි මාසයේ 21 වැනිදා දෙරටේ ක‍්‍රීඩිකාවන් අතර පළමු එක්දින තරගය ලන්ඩනයේ ටෝන්ටන් ප‍්‍රාන්ත පිටියේ පැවැත්වීමට නියමිතය. අනතුරුව ඔවුන් සමර්සෙට් හා ග්ලොස්ටෂයර් හරහා කෙටි ගමනකින් පසුව බි‍්‍රස්ටල් හීදී 23 වැනිදා දෙවැනි එක්දින තරගයට සහභාගි වනු ඇත. තුන්වැනි හා අවසන් එක්දින තරගය ජූලි 26 දා වූස්ටර්ෂයර්හි ‘නිව් රෝඞ්’ ක‍්‍රීඩාංගණයේ පැවැත්වේ.

දෙපිල අතර එකම ටෙස්ට් තරගය අගෝස්තු මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කැන්ටබරිහි ‘ස්පිට්ෆයර්’ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. අනතුරුව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය තරග 3 කින් සමන්විත වේ.

 

 


අදහස් (0)

පිත්තක් පිළිස්සූ කාන්තා ‘අළු බඳුනේ’ කතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.