Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නේපාලයට එරෙහි තීරණාත්මක තරගය අද

නේපාලයට එරෙහි තීරණාත්මක තරගය අද

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ‘මාලේ’ නුවර සිට...)

මාලේ නුවර දී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය අද (4) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට පැවැත්වේ.

සිකුරාදා පැවැති තරගයේදී බංග්ලාදේශය හමුවේ 1-0 ක් ලෙසින් පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට අද තරගය තීරණය අතිශයින්ම තීරණාත්මකය.

මෙම තරගය ජය ගැනීමට නොහැකි වුවහොත් හෝ අඩු තරමින් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ ඉදිරියට යාම එතැන් සිට අවහිර වනු ඇත.

අද තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා පිටියට පිවිසෙන්නේ වඩාත් බලසම්පන්න තත්වයකිනි. හේතුව සිකුරදා රාත්‍රියේ පැවැති තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කිරීමට නේපාල කණ්ඩායම සමත් විය.  සිකුරාදා නේපාලය හමුවේ පරාජය වූයේ පසුගිය සාෆ් පාපන්දු තරගාවලියේ ශූරයන් බව අමතක කළ නොහැකිය.

මාලදිවයින මෙවර තරගාවලියට සහභාගි වී සිටින කණ්ඩායම් අතරින් ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකේ.  ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 158 වැනි ස්ථානයේ පසුවූ මාලදිවයින සිකුරාදා පරාජය වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 168 වැනි ස්ථානයේ සිටි නේපාලයටය.

ලේඛනගත පාපන්දු තරග ඉතිහාසය අනුව, තරග 17කින් ශ්‍රී ලංකාව තරග හයක් ජයගත්තත් නේපාලය මෙතෙක් ජය ගෙන ඇත්තේ  තරග 3 ක් පමණි. දෙරට අතර සෙසු තරග සම වී තිබේ.

අවසන් වරට ශ්‍රී ලංකාව සහ නේපාලය මුහුණ දුන් ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 1–0 කින් ජයගත්තේය. ඒ 2015 දීය. එහෙත් මේ වනවිට ආසියාවේ ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් වෙමින් සිටින ඉන්දියාව හමුවේ පසුගිය මාසයේදී නේපාලය පරාජය වූයේ 2-1 කිනි. මෙම කාරණා දෙස බැලීමේදී කුවේට් ජාතික වත්මන් පුහුණුකරු අබ්දුල්ලා අලි මහතාගේ මගපෙන්වීම තුළ නේපාල ජාතික පාපන්දු කණ්ඩායම අනාගතය ගොඩ නගාගනිමින් සිටින බව පැහැදිලිය.

අද තරගයේදී ආරක්‍ෂාකාරී ප්‍රවේශයකට යාමට වඩා ජයග්‍රහණය ගැනම සිතීම ශ්‍රී ලංකාවට වාසිදායකය.  මන්ද යත් අනතුරුව ශ්‍රී ලංකාවට තරගාවලියේ මුණගැසෙන්නේ වඩාත් ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනකු වන බැවිනි. ඒ කලාපයේ පාපන්දු බලවතා වන ඉන්දියාව හා සාෆ් කුසලානයේ වත්මන් හිමිකරුවන් වන මාලදිවයිනයි.

නේපාලය 1993 දී ආරම්භ වූ මෙම තරගාවලියේ කිසිදු අවස්ථාවක අවසන් මහ තරගයට ප්‍රවේශවීමට සමත් වී නොමැත. 1993 ආරම්භක තරගාවලියේදී තෙවැනි ස්ථානය ලැබීම ඔවුන්ගේ මෙම තරගාවලියේ හොඳම ස්ථානයයි.

ඒ අනුව අද නේපාලය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම් අස්වැසිල්ලකින් යුතුව ඉතිරි ප්‍රතිවාදීන් දෙදෙනා මුණගැසීමේ අවස්ථාව ලබනු ඇත. අඩු තරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමත් ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව තවදුරටත් සිතා බැලිය හැකි අවස්ථාවකි.

 


අදහස් (0)

නේපාලයට එරෙහි තීරණාත්මක තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.