Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නුවන් තුෂාර - මෙන්ඩිස් එක්ව තරගාවලිය දිනවති
තුන්වැනි විස්සයි-20 තරගය

නුවන් තුෂාර - මෙන්ඩිස් එක්ව තරගාවලිය දිනවති

editorial - 2024 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පස්වැනි පන්දු යවන්නා වූ නුවන් තුෂාර (20/5) සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ කුසල් මෙන්ඩිස් (86) එක්ව බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේ සිලාත් නුවරදී අද (9 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 28 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින්, තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ජය 2-1 ක් ලෙසින් ශ්‍රී ලංකාව සතුවිය.

ලකුණු 175 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශීහු ඕවර 20 ක් නිමාවේදී ලකුණු 146 කට දැවී ගියහ. 

මෙම තරගාවලියේදී මුල්ම වතාවට පිටියට පිවිසි නුවන් තුෂාර, සිය පළමු ඕවරයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේ බංග්ලාදේශය සංත්‍රාසයට පත්කරමිනි. නුවන් සිය දෙවැනි ඕවරයේදී සෞම්‍ය සාර්කර් දවාගන්නා විට බංග්ලාදේශ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 කට 24 ක් ලෙසිනි. 

එතැනින් අගාධයට ඇද වැටුණු බංග්ලාදේශයට ගොඩ ඒමක් නොවීය. බිනුර ප්‍රනාන්දු සහ මහීෂ් තීක්‍ෂණ විසින් යවන ලද 15 සහ 16 වැනි ඕවර දෙකේදී හයේ පහර කිහිපයක්  ද සමගින් ලකුණු 31 ක් ලබාගැනීමට රිෂාඞ් හොසේන් සහ ටස්කින් අහමඞ් දෙදෙනා සමත් වූවද, ඊළඟ ඕවරයේදි මහීෂ් තීක්‍ෂණ තම වාඩුව ගත්තේය. මිඞ් විකට් කලාපය ඉහළින් ලකුණු 6 ක් සොයා යාමට ගිය රිෂාඞ් හොසේන්ගේ පහර වැරදී ගියේ ඔහුගේ පන්දු 30 ඉනිම නිමා කරමිනි. 

සිය මුල් ඕවර තුනේදී ලකුණු 7 ක් පමණක් දී තිබූ නුවන් තුෂාර අවසන් ඕවරයේදී තරමක ප්‍රහාරයකට ලක්වූයේය. එහෙත් ඔහු තරගය අවසන් කළේ සිය අවසන් පන්දුවේදී ෂොරිෆුල් ඉස්ලාම් දවාගනිමිනි. ඕවර 4 ක් යවමින්, ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගත් නුවන් තුෂාර ම මිස, තරගයේ වීරයාට ඉල්ලුම් කළ හැකි වෙනත් අයෙක් සිලාත් පිටියේ සිටියේ නැත. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය නැවත වරක් පන්දු යැවීම තෝරා ගත්තේය. ඉදිරි පෙළ පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී ලකුණු ලබාගැනීමේ වේගය රඳවාගනිමින්ම, හුදෙකළාවම ඉදිරියට ගිය කුසල් මෙන්ඩිස් ලකුණු 174 ක් කරා යාමට ශ්‍රී ලංකා පිලට මඟ පාදා දුන්නේය. කුසල්ගේ ඉනිම හැරෙන්නට, ශ්‍රී ලංකා පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ දසුන් ශානක ලබාගත් ලකුණු 19 යි. 

නායක වනිඳු හසරංග අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණියේ සධීර සමරවික්‍රම පිතිකරු ලයිස්තුවේ පහළට තල්ලු කරමිනි. හතරේ පහරක් සහ හයේ පහරක් සමගින් පන්දු 13 කින් ලකුණු 15 ක් ලබාගත් ‘පාවෙන පිතිකරුවා’ හෙවත් වනිඳු හසරංග දැවී යාමට පෙර, 13 වැනි ඕවරයේදී 111 වැනි ලකුණත් පුවරුවට එකතු කළේය. ඉනිමේ 17 වැනි ඕවරය දක්වාම පිටියේ රැඳුණු ආරම්භක පිතිකරුවා දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 140 ක් විය. පසුව පැමිණි පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 කට ලකුණු 174 ක් දක්වා ශ්‍රී ලංකා පිල ඇදගෙන ගියහ.
 
ශ්‍රී ලංකා ඉනිමේ 15 වැනි ඕවරය නිමාවන විටත් ලකුණු 135 ක් පුවරුවේ තිබුණ නමුත් රිෂාඞ් හොසේන් (3) සහ ටස්කින් අහමඞ් (2) එක්ව 16 සහ 17 වැනි ඕවර වලදී කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාව පාලනය කරගත්හ. එහි වඩාත් අවාසිදායක කොටස වූයේ 17 වැනි ඕවරය අවසානයේදී කුසල්ගේ ඉනිම නිමා වීමයි. පන්දු 55 කින් ලකුණු 86 ක් රැස්කරගෙන සිටි කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ සහ හයේ පහර 6 ක් බැගින් ඇතුළත් වී තිබිණ. 

කෙසේ වෙතත් අවසන් ඕවර දෙකේදී දසුන් ශානක සහ සධීර සමරවික්‍රම කළ ආක්‍රමණය නිසා ලකුණු 21 ක් එකතු විය. 

මෙම විස්සයි-20 තරගාවලියේදී කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 59, 36 සහ 86 ක් ලෙසිනි. තරගාවලිය පුරාම ලකුණු 181 ක් ලබාගත් කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා විය. 


- 213 


අදහස් (0)

නුවන් තුෂාර - මෙන්ඩිස් එක්ව තරගාවලිය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.