Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවිකයෝ බෝට්ටුවෙන් අවසන් සටනට
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

නාවිකයෝ බෝට්ටුවෙන් අවසන් සටනට

editorial - 2023 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී යුද හමුදාවට එරෙහිව ලකුණු 16-13 ක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නාවික හමුදාව අද (2 වැනිදා) සමත් විය.

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 07-03 ක් ලෙස යුද හමුදාව පෙරමුණ ගත්තේය. දෙවැනි අර්ධයේදී යුද හමුදාව ලකුණු 6 ක් රැස්කරද්දී, නාවික හමුදාව ලකුණු 10 ක් රැස්කළේය. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට දෙපිලම ලකුණු 13 බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය.

අවසන් මහ තරගයට සුදසුකම් ලබන කණ්ඩායම තෝරාගැනීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට තරග තීරකවරයා පියවරගත් අතර එහිදී මුලින්ම ලකුණු රැස්කරන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිවීමට නියමිතව තිබිණ. අතිරේක කාලය ආරම්භ වී විනාඩියක් ගතවීමටත් පෙර ඩ්‍රොප් ගෝලයක් ලබාගත් තිළිණ වීරසිංහ නාවික හමුදාව ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමු අර්ධයේදී දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළ නාවික හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ තවත් දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු  ලබාගත් යුද හමුදාව, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 ක් මගිනි.

හර්ෂ මධුරංග 78 වැනි විනාඩියේදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් අතර ඉසුරු කෝන්ගහවත්ත එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහර 2 සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ සහ සැමුවෙල් මධුවන්ත විසිනි.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් චාලික සඳරුවන් 29 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත්තේය. එම උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය මෙන්ම යුද හමුදාවට හිමිවූ දඬුවම් පහර 2 ද සාර්ථක කරගනු ලැබුවේ චමත් ප්‍රනාන්දු විසින්ය.

මෙම තරගයේදී නාවික හමුදා කණ්ඩායමේ සැමුවෙල් මධුවන්ත (20 වැනි විනාඩියේදී), මුෂින් ෆලීල් (49 වැනි විනාඩියේදී), යුද හමුදාවේ ඉජාස් අහමඩ් (77 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

නාවිකයෝ බෝට්ටුවෙන් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.