Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නාවික හමුදාවෙන් පොලිසියට දරුණු ප්‍රහාරයක්

නාවික හමුදාවෙන් පොලිසියට දරුණු ප්‍රහාරයක්

යොහාන් භාසුර - 2020 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාවික හමුදා පිල ප්‍රදර්ශනය කළ අනපේක්‍ෂිත දස්කම් හේතුවෙන් ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයේදී පොලිස් පිල ලකුණු 44-24 ක පරාජයක් ලැබීය. මෙම තරගය බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී අද (02) පස්වරුවේ පැවැත්විණ.

මෙවර තරගාවලියේදී තරමක පසු බෑමකට ලක්ව සිටි නාවික හමුදා පිල මෙහිදී උත්සාහක දිනුම් හයක් සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.

පොලිස් පිල පළමු වටයේදී පෙරළිකාර කණ්ඩායම බවට පත්වීමට සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කළ ෆිජි ක්‍රීඩක ඉමෝෂි වෙනුමෝසාගේ දස්කම් වඩාත් කැපී පෙනුණි. ඉමෝෂි ආබාධයකට ලක්ව ක්‍රීඩා නොකිරීම මෙම කඩා වැටීම ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ.

ඉමෝෂි පළමු වටයේ තරගවලදී ක්‍රීඩකයන් කීපදෙනකුගේ කාර්යයන් ඉටු කළ ආකාරය දැකගත හැකිවිය.   

නාවික හමුදා පිල පළමු අර්ධයේ පස්වැනි මිනිත්තුවේ සිට 25 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු 20 තුළ ලකුණු 22 ක් රැස්කිරීමෙන් ආරම්භයේදීම පොලිස් පිල වෙතින් තරගය අත්හැරුණි. නාවික හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 34-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.

චතුර සෙනෙවිරත්න පස්වැනි මිනිත්තුවේදී නාවික හමුදා පිලට පළමු උත්සාහක දිනුම එකතු කළේය. ඉසුරු කෝන්ගහවත්ත ඉන් මිනිත්තු තුනකට පසුව දඩුවම් පහරක් සාර්ථක කිරීමත් සමඟ නාවික හමුදාව ලකුණු 8-0 ක් ලෙස වාසිය හිමිකරගත්තේය.

සමිත් ධනංජය 14 වැනි මිනිත්තුවේදී ද, සුපුන් ඩිල්ෂාන් 24 වැනි මිනිත්තුවේදී ද, එකතු කළ උත්සාහක දිනුම් ඉසුරු කෝන්ගහවත්ත ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 22-0 ක් බවට පත්විය.

පොලිස් පිල ඉදිරියෙන් මිනිත්තු 30 ක් පැවැති බිංදුව මකා දැමූ වගීෂ වීරසිංහ පළමු උත්සාහක දිනුම එකතු කළේය. නලීන් කුමාර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 22-7 ක් බවට පත්විය.

නාවික හමුදා පිලේ හිටපු නායක යෝෂිත රාජපක්‍ෂ 20 වැනි මිනිත්තුවේදී පමණ තුවාල ලබා ක්‍රීඩාංගණයෙන් ඉවතට පැමිණ ප්‍රතිකාර ලබා විනාඩි 10 කින් පමණ නැවත තරගයට පැමිණියේය.   

නාවික හමුදා පිලට මුෂීන් ෆලීල් 33 වැනි මිනිත්තුවේදී සිවුවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ අතිරේක ප්‍රසාද ලකුණ ද එකතු විය. ඉසුරු කෝන්ගහවත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 29-7 ක් බවට පත්විය.

චතුර සෙනෙවිරත්න, පොලිස් ක්‍රීඩකයන් කීපදෙනකුම බිම දමමින් මීටර 50 ක් පමණ ධාවනයේ යෙදෙමින් 36 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම නාවික හමුදා පිල ඉදිරියෙන් සටහන් කළේය. වම් පස පැති රේඛාවේ සිට ඉසුරුගේ ගෝල ප්‍රවර්ථන උත්සාහක අසාර්ථක වූ අතර ලකුණු තත්ත්වය 34-7 ක් ලෙස කියවිණි.

අකිල ෂාන් පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී පොලිස් පිලට දෙවැනි උත්සාහක දිනුම එකතු කළ අතර ඒ අනුව ලකුණු තත්ත්වය 34-12 ක් බවට පත්විය.

දෙවැනි අර්ධය ආරම්භයේදී පොලිස් පිල යම් පිබිදීමකින් යුතුව ක්‍රීඩා කළ ආකාරය දැකගත හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස හත්වැනි මිනිත්තුවේදී රසිත් සිල්වා, නාවික හමුදා ඉදිරිපෙළ ආක්‍රමණය කරමින් ගෝල කණු ආසන්නයෙන් පන්දුව පතිත කළේය. නලීන් කුමාර අතිරේක ලකුණු දෙක පහසුවෙන් එකතු කිරීමත් සමඟ ලකුණු පුවරුව 34-19 ක් ලෙස වෙනස් විය.

නාවික හමුදා පිලට 54 වැනි මිනිත්තුවේදී මුෂීන් ෆලීල් සිය දෙවැනි උත්සාහක දිනුම ගෝල කණු හරි මැදින් සම්පූර්ණ කළේය. ඒ අනුව ඉසුරු පහසුවෙන් ප්‍රවර්ථන සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 41-19 ක් බවට පත්විය.

රසිත් සිල්වා ඉන් මිනිත්තු හතරකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුම පොලිස් පිලට මුසු කළේය. ඒත් සමඟ ලකුණු තත්ත්වය 41-24 ක් විය.

නාවික හමුදා පිලට 62 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ඉසුරු සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 44-24 ක් බවට පත්විය.      

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

නාවික හමුදාවෙන් පොලිසියට දරුණු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.