Last Update  :  2026-03-11 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නවසීලන්ත කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ
කි.ග්‍රෑ. 85 ට අඩු රග්බි

නවසීලන්ත කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ

editorial - 2026 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කිලෝ ග්‍රෑම් 85 ට අඩු ක්‍රීඩකයන්ගෙන් සමන්විත නවසීලන්ත රග්බි කණ්ඩායම තරග දෙකක් සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙම තරග අප්‍රේල් මස 25 වැනිදා කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණ පිටියේදී සහ මැයි මස 3 වැනිදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු ජාතික කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ දෙවැනි වතාවටය. 

පසුගිය වසරේදීත් නවසීලන්ත කි.ග්‍රෑ. 85 ට අඩු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේය. අන්තර්ජාතික රග්බි පිටියේ මැද පෙළ සිටින රටවල් අතරේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහාත්, ඒ පිළිබඳ වඩ වඩාත් උද්යෝගයක් ඇති කිරීම සඳහාත් නවසීලන්ත කි.ග්‍රෑ. 85 ට අඩු කණ්ඩායම ලෝකයේ විවිධ රටවල සංචාරය කරයි. 

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත නවසීලන්ත කණ්ඩායම කිලෝ ග්‍රෑම් 85 ට අඩු ක්‍රීඩකයන් යොදා ඇත්තේ ලෝකයේ ඉදිරිපෙළ රග්බි ක්‍රීඩාවේ නිරතවන කණ්ඩායමක් සහ මැද පෙළ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අතර පරතරය අඩු කිරීමයි. එමගින් පිටියේදී ක්‍රීඩකයන් තුවාල වීම වළක්වාගැනිම මෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාවද අරමුණු කෙරේ. එසේ වුවත් දෙපිලේ ක්‍රීඩකයන් අතර වේගය, ශාරීරික යෝග්‍යතාව, තරගය අතරමැද තීන්දු ගැනීමේ සමත්කම මෙන්ම ක්‍රීඩකයන්ගේ නිසඟ හැකියාවන් සහ දියුණු කරගත යුතු යෝග්‍යතාවන්ද මැන බැලෙන්නකි. 

අන්තර්ජාතික රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්තය 2 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 46 වැනි ස්ථානයේත් සිටිති. එහෙත් ලෝක රග්බි ක්‍රීඩාවේ 20 වැනි ස්ථානයේ සිටින සැමෝවා කණ්ඩායමත් 46 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර ඇත්තේ පියවිය නොහැකි පරතරයකි. එසේ වුවත් රග්බි ක්‍රීඩාවේ නිරත වන ආසියාවේ පැරණිතම රටවලින් එකක් වන ශ්‍රී ලංකාව සමබන්ධයෙන් නවසීලන්ත රග්බි ආයතනය විශාල ගෞරවයක් දක්වයි. 

“මේ සංචාරය තහවුරු කරන්නට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම නවසීලන්තය නියෝජනය කරන්න මේ කණ්ඩායමේ සිටින තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබීමත් හොඳයි”

“ශ්‍රී ලංකාව කියන්නේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් මහත් අභිමානයක් තිබෙන රටක්. පසුගිය වසරේ තරගාවලියේදීත් විශාල සෙනඟක් තරග බලන්නට පැමිණියා විතරක් නෙමේ රග්බි ප්‍රජාව හැටියට ඔවුන් අපිත් එක්ක හිටියා...”

“මේ වතාවේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම අපට හොඳ තරගයත් දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. කළු කමිසය (නවසීලන්ත රග්බි කණ්ඩායමේ නිල ඇඳුම) ඇඟලාගත් පසුව අපි බලාපොරොත්තු වන එකම දේ ඒකයි” යයි නවසීලන්ත රග්බි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් ලැන්කැස්ටර් මහතා නවසීලන්ත රග්බි ආයතනයේ නිල වෙබ් අඩවියට පවසා තිබිණ. 

නවසීලන්ත කි.ග්‍රෑ 85 ට අඩු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් බෙන් සිනමන් මහතා කටයුතු කරයි. 

“රග්බි ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත්, මේක අපේ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක්” යයි බෙන් සිනමන් මහතා පවසා තිබිණ. 

“දළකාරයෝ (ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම හඳුන්වන අන්වර්ථ නාමය) රග්බි ක්‍රීඩාව කෙරේ බොහොම ආසක්ත වුණ කණ්ඩායමක්. මේ වතාවෙදිත් ඔවුන්ගේ රග්බි ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ මට්ටමක තියේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේ වාතාවරණයකදි, විශේෂයෙන්ම දැඩි උණුසුම් සහිත තත්ත්වයකදි, ක්‍රීඩා කරන්න හොඳ සූදානම් වීමක් තියෙන්න ඕනා වගේම කිසියම් ක්‍රමවත් පිළිවෙලකට අනුව තමන්ගේ තරග සැලැස්ම දිගහැරීමත් වැදගත්” යයි ද බෙන් සිනමන් මහතා නවසීලන්ත රග්බි ආයතනයේ නිල වෙබ් අඩවියට පවසා තිබිණ. 

නවසීලන්ත (කි.ග්‍රෑ 85 ට අඩු) කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වඩාත් ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා උපකාරී වන්නකි. පසුගිය වසරේදී නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී නවසීලන්ත රග්බි ක්‍රීඩාවටම ආවේණික වූ සුවිශේෂී ‘හකා නර්තනය’ ශ්‍රී ලංකාවේදී දැකගැනීමට ලැබුණු මුල්ම අවස්ථාව විය. එය ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවට උත්ප්‍රේරකයක් ද විය. 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් අනුග්‍රාහකයන්ගේ සුවිශේෂී උනන්දුවක් පවතින අතරම, ක්‍රීඩා ලෝලීන්, පාසල් ක්‍රීඩකයන් මෙන්ම රග්බි පාලනාධිකාරියට සම්බන්ධවූවෝත් මෙම තරගාවලිය ආරම්භ වන තුරු මහත් උනන්දුවෙන් බලා සිටිති. 

ජපානය (1866) සහ ශ්‍රී ලංකාව (1879) රග්බි ක්‍රීඩාවේ නිරත වන, ආසියාවේ පැරණිතම රටවල් දෙකයි. එවන් තත්ත්වයක් යටතේ රග්බි ලෝකයේ ඉදිරිපෙළ රටවල් වන එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ප්‍රංශය වැනි රටවල පවතින රග්බි ක්‍රීඩාව, ක්‍රම ක්‍රමයෙන් ආසියාව තුළට කාන්දු කරවීම සඳහා නවසීලන්ත (කි.ග්‍රෑ 85 ට අඩු) කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කදිම සම්බන්ධිතයක් වනු ඇත. 


අදහස් (0)

නවසීලන්ත කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.