Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය - මෙන්ඩිස් ශ්‍රී ලංකාව ගොඩගනිති
සිලත් ටෙස්ට් තරගය

ධනංජය - මෙන්ඩිස් ශ්‍රී ලංකාව ගොඩගනිති

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධනංජය ද සිල්වා (102) සහ කමිඳු මෙන්ඩිස් (102) එක්ව ගොඩනැංවූ ලකුණු 202 ක සම්බන්ධතාව නිසා හිස් ඔසවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශයේ සිලත් නුවරදී අද (22 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 280 ක් ලබාගත්හ. විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත දෙදෙනා බංග්ලාදේශ ඉනිම ආරම්භයේදීම සත්කාරකයන්ගේ ගෙල සිරකරගත් හෙයින් ඕවර 10 ක් ඇතුළතදී ලකුණ 32 කට බංග්ලාදේශයේ කඩුලු 3 ක් බිඳ වැටිණ. 

පළමු දිනයේ යැවීමට තවත් ඕවර 10 ක් පමණ ඉතිරිව තිබියදී, පස්වරු 5.35 ට පමණ ක්‍රීඩාව නතර කරන ලදි. 
හරිත පැහැය ගත් සිලත් තණතීරුවේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එම තීරණයේ වාසිය උපරිම වශයෙන් තම පිලට අත්කර දුන් කාලිඞ් අහමඞ් තම පළමු ඕවර හය ඇතුළතදී නිශාන් මධුෂ්ක (2), දිමුත් කරුණාත්න (17) සහ කුසල් මෙන්ඩිස් (16) තිදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.  එහි ප්‍රතිඵලයක් ලෙසින් 12 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 කට 41 ක් ලෙසින් දිස්විණ. 

පන්දු 10 ක් ඇතුළතදී ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමිනි. දිනේෂ් චන්දිමාල් ලකුණු 9 කට දැවී යාමත් සමගින් ලකුණු 57 දී පස්වැනි කඩුල්ලත් බිඳ වැටිණ. 

තම දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස්, නිර්භීත පිතිහරඹයක නිරත වෙමින් නායකයා සමගින් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය. පන්දු 127 කින් ලකුණු 102 ක් ලබාගත් මෙන්ඩිස්, තම මංගල ටෙස්ට් ශතකය කරා ගිය ගමනේදී ධනංජයට වඩා ආක්‍රමණශීලී වෙමින්, හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. මෙන්ඩිස්ට පහර කරා යාමට ඉඩදෙමින් ඉවසිල්ලේ සිටි නමුත් දුර්වල පන්දු නිදැල්ලේ යාමට ධනංජය ඉඩ නොදුන්නේය. පන්දු 127 කින් පැමිණි ධනංජයගේ 11 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 12 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. 

දිනේෂ් චන්දිමාල් දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ලකුණු ලබාගැනීමට පොරතුව දුන් උඩපන්දුව මහමදුල් හසන් වෙතින් ගිළිහී ගියේය. එතැනින් වාසිය ගත් මෙන්ඩිස් සහ ධනංජය එක්ව දිවා ආහාරය වන විට 92 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. තේ පානය වන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 217 ක් වූවත් කමිඳු මෙන්ඩිස් දැවී යාමෙන් ඕවර 10 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සහමුලින්ම දැවී ගියේය.

 


අදහස් (0)

ධනංජය - මෙන්ඩිස් ශ්‍රී ලංකාව ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.