
(දමින්ද විජේසූරිය)
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට ලක්වූ ජනතාවගේ සුබ සාධන කටයුතු සඳහා සහාය වීමේ උත්සාහයේ කොටසක් ලෙස අගෝස්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරයේදී අමතර විස්සයි20 ජාත්‍යන්තර තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට ඉන්දියාව එකඟ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (2 වැනිදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා එසේ පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂම්මි සිල්වා මහතා පැවසුවේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා දෙසැම්බර් මස අවසන් සතියේදී (27 සහ 29 දිනවල) විස්සයි-20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම එකඟ වූවත් එම දිනවලදීම තරග දෙක ක්‍රීඩා කළේ නම් එයින් අත්කරගතහැකි වාණිජ වටිනාකම සම්පූර්ණයෙන්ම අත්පත් කරගත නොහැකි බවයි.
“ඉන්දියාව කියන්නේ ලෝකයේ තියෙන ඉහළම මිල ගෙනෙන කණ්ඩායම. මේ තරග දෙක හරියට අළෙවි කරගත්තොත් ඒකෙන් හොඳ මුදලක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේ දෙයක් හරියට සැලසුම් කරලා කරනවා මිස හදිස්සියට කරලා උපරිම ප්‍රයෝජන ලබාගන්න බෑ”
“ඒ හින්දා අපි ඒ තරග දෙක අගෝස්තු මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පස්සේ දාගත්තා” යයි ද ෂම්මි සිල්වා මහතා පැවසීය.
මෙම විස්සයි-20 තරග දෙක අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ‘අනාගත සංචාර සැලසුමට’ අයත් නොවන්නකි. එබැවින් එම තරග දෙක වෙනමම අළෙවි කරමින්, ඒ සඳහා ඉහළ වටිනාකමක් ලබාගත යුතුව තිබේ.
මේ වසරේ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සඳහා බටහිර ඉන්දීය දූපත් සමූහයේ සංචාරයක නිරත වීමට නියමිතය. ඉන් අනතුරුව අගෝස්තු මාසයේදී ටෙස්ට් තරග දෙකක් සඳහා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙම ටෙස්ට් තරග හතරම ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග වේ.
විස්සයි-20 තරග දෙක පැවැත්වෙන්නේ ඉන් අනතුරුවය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුවිශාල හානියක් කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය යළි නඟා සිටුවීම සඳහා දක්වන සහයෝගීතාව වෙනුවෙන් මෙම තරග දෙක පැවැත්වෙයි. වසර 2004 දී ඇතිවූ ‘සුනාමි’ ව්‍යසනයෙන් පසුවද ශ්‍රී ලංකාවට ඇතුළු විපතට පත් රටවලට ආධාර කිරීම සඳහා ඕස්ටේ්‍රලියාවේදී සහ නවසීලන්තයේදී ආධාර ක්‍රිකට් තරග කිහිපයක් පැවැත්විණ.
මෙම ආධාර ක්‍රිකට් තරග සඳහා සහභාගිවීමට එකඟතාව පළකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිය කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන 7 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ සියලුම ආදායම ද දිට්වා සුළු කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ සුබසෙත වෙනුවෙන් පරිත්‍යාග කරන බව ද ෂම්මි සිල්වා මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.