ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය තෙවැනි වරටත් සංවිධානය කරන ‘ටී-කප්’ රේසිං පාපැදි සවාරිය මැයි මස 10, 11 සහ 12 යන දිනවලදී දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ (පාසිකුඩා) සිට බස්නාහිර වරළ තීරය (මීගමුව) දක්වා දක්වා පැවැත්වේ.
අදියර තුනකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ පළමු අදියර මැයි මස 10 වැනිදා ආරම්භ වන අතර එහිදී තරගකරුවන්ට පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ හරහා මහියංගනයට පැමිණීමට සිදුවේ. පළමු අදියරේ මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 133 කි.
දෙවැනි අදියර මැයි මස 11 වැනිදා මහියංගනයෙන් ආරම්භ වන අතර එහිදී තරගකරුවන් හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, දිගන සහ තැන්නේතුඹුර හරහා මහනුවර දක්වා කිලෝ මීටර් 92 ක දුරක් ගමන් කළ යුතුය.
මැයි මස 12 වැනිදා මහනුවරින් ආරම්භ වන තෙවැනි අදියරේදී තරගකරුවන්ට කිලෝ මීටර් 125 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දංකොටුව හරහා මීගමුවට පැමිණිමෙන් එම අදියර නිමාවට පත් වේ.
මෙම පාපැදි සවාරියට රටවල් 10 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 17 ක් සහභාගි වන අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 5 දෙනා බැගින් ඇතුළත්ව සිටිති. ඊට විදෙස් කණ්ඩායම් 12 ක් සහ දේශීය කණ්ඩායම් 5 ක් ඇතුළත්ව සිටිති.
ජපානය, හොං කොං සහ සහ පිලිපීනය යන රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 2 බැගින් තරගාවලියට එක්ව සිටින අතර ඕස්ටේ්‍රලියාව, ප්‍රංශය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් එක් කණ්ඩායම බැගින් ඊට සහභාගි වීමට නියමිතය.
තරගයට සහභාගි වන තරගකරුවන් සියලු දෙනා මැයි මස 9 වැනිදා මීගමුවේ සිට පාසිකුඩා දක්වා රැගෙන යනු ලබන අතර එදිනම පාසිකුඩාහි ජාතික නිවාඩු නිකේතනය වන පාසි විලා හෝටලයේදී තරගකරුවන් ලියාපදිංචි කිරීම සිදුකෙරේ.
තරගයේ පළමු ස්ථානය දිනාගන්නා ක්‍රීඩකයාගේ සිට 20 වැනි ස්ථානය හිමිකර ගන්නා ක්‍රීඩකයා දක්වා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඒ සඳහා වෙන්කර ඇති මුලු මුදල ඇමරිකානු ඩොලර් 24,235 ක් වන බව සංවිධායකයෝ පවසති. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 4.2 ක් පමණ වේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගය සඳහා සහභාගි වන සියලුම දෙනාට නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය සූදානමින් සිටියි.
තරගාවලියට සහභාගි වන විදෙස් කණ්ඩායම්
■ ඔලිවර්ස් රියල් ෆුඞ් රේසිං කණ්ඩායම (ඕස්ට්‍රේලියාව)
■ ප්‍රංශ ආරක්ෂක සේවා කණ්ඩායම
■ එච්.කේ.එස්.අයි. පාපැදි කණ්ඩායම (හොං කොං)
■ එක්ස්. ස්පීඞ් එක්සත් පාපැදි කණ්ඩායම (හොං කොං)
■ පී.ජී.එන්. පාපැදි කණ්ඩායම (ඉන්දුනීසියාව)
■ කිනන් පාපැදි කණ්ඩායම (ජපානය)
■ යුක්යෝ කණ්ඩායම (ජපානය)
■ ටෙරෙන්ගානු පාපැදි කණ්ඩායම (මැලේසියාව)
■ 7 ඉලෙවන් පාපැදි කණ්ඩායම (පිලිපීනය)
■ ගෝ ෆෝ ගෝල්ඞ් කණ්ඩායම (පිලිපීනය)
■ නෙක්ස් පාපැදි කණ්ඩායම (සිංගප්පූරුව)
■ රූජායි පාපැදි කණ්ඩායම (තායිලන්තය)
තරගාවලියට සහභාගි වන දේශීය කණ්ඩායම්
■ ශ්‍රී ලංකා ගුවන් හමුදාව
■ ශ්‍රී ලංකා යුද හමුදාව
■ ශ්‍රී ලංකා නාවික හමුදාව
■ ශ්‍රී ලංකා වරාය අධිකාරිය
■ ස්ටෙෆනි පාපැදි සමාජය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.