Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජෝ රූට් එංගලන්තය ඉදිරියට ගෙන යයි

ජෝ රූට් එංගලන්තය ඉදිරියට ගෙන යයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිවා ආහාරය ගැනීමෙන් පසුව වේගවත් පිතිහරඹයක නිරත වූ ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 278 කින් තම පිල ඉදිරියට ගෙන ගියහ. අගනා පිතිහරඹයක යෙදෙමින් තවත් ටෙස්ට් ශතකයක් සම්පූර්ණ කළ එංගලන්ත නායකයා තම කණ්ඩායමට මෙම වාසිදායක තත්ත්වය අත්කර දුන්නේය.

තරගයේ තුන්වැනි දිනය වූ අද (16 වැනිදා) පස්වරු 4.17 වන විට පැවැති වැහි අඳුරත්, අකුණු ගැසීමත් නිසා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියේය. මුල් ඉනිමේදී ශ්‍රී ලංකා පිලට හිමිවූ ලකුණු 46 වාසිය නිසා එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 278 ක් ඉදිරියෙන් සිටී.

නායක ජෝ රූට් මෙන්ම බෙන් ෆෝක්ස්ද තරමක් තැන්පත් පිතිකරුවන් දෙදෙනෙකු වන නමුත් හත්වැනි කඩුල්ල වෙනුවෙන් මේ දෙදෙනා අතර පැවැති ලකුණු 82 ක සම්බන්ධතාව වෙනුවෙන් ගතවූයේ විනාඩි 93 ක් පමණි. එහෙත් ජොස් බට්ලර් සහ මුයින් අලි දෙදෙනා පිටියේ රැඳී සිටි විනාඩි 78 ක කාලයේදී පස්වැනි සහ හයවැනි කඩුලු වෙනුවෙන් ලකුණු 110 ක් එකතු විය. එංගලන්ත දෙවැනි ඉනිමට ජවය එක්වූයේ එතැනිනි.

දිවා ආහාරයෙන් පසුව අත දිගහැර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සලකන්නට වූ එංගලන්ත නායකයා එතැන් සිට පන්දු 110 කින් ලකුණු 98 ක් ලබාගත්තේය. පැය තුන හමාරකට ආසන්න කාලයක් පිටියේ රැඳුණු ජෝ රූට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට හතරේ පහර 10 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.

ජෝ රූට් දවාගැනීමත් සමගම තවත් කඩුලු දෙකක් දවාගත් අකිල ධනංජය දිනය හමාර කළේ ලකුණු 106 කට කඩුලු 6 ක් දවාගනිමිනි. එය ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වන අතර ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් තුන්වැනි අවස්ථාවද විය.

මේ වන විට පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සැකයට පාත්‍රවී සිටින අකිල ධනංජය ලබන සතියේදී ඒ සම්බන්ධ පරීක්‍ෂණයකට මුහුණ දිය යුතුව තිබේ. එබැවින් ඔහුට තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය මඟහැරී යාමේ විශාල ඉඩක් පවතී.

එංගලන්තයේ මුරකරු පිතිකරුවා වූ ජැක් ලීච් වේලාසනින්ම දැවී ගිය නමුත් රෝරි බර්න්ස් සහ කීටන් ජෙනිංග්ස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එකතු කරමින් අද පෙරවරුවෙදීම එංගලන්තය තරගයට කැඳවාගෙන ආවේය. දිනය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ පන්දු යැවූහ.

ඩිල්රුවන් අද දිනයේ යැවූ තුන්වැනි පන්දුවේදීම ජැක් ලීච් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් නමුත් විනිසුරු මාරියස් එරැස්මස් මහතාගෙන් ඊට අනුමැතිය නොලැබිණ. පසුව විතීවි සහාය ලබාගත් ඩිල්රුවන් දිනයේ පළමු සාර්ථකත්වය ලබාගත්තා පමණක් නොව මහත් තර්ජනයක් විය හැකිව සිටි බෙන් ස්ටෝක්ස් ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් කළේය.

දෙපිලේම ක්‍රීඩකයන් රූපවාහිනිය කෙරේ වැඩි බලාපොරොත්තු රැඳවීම හේතුවෙන් ඕවර 11 ක් ඇතුළත විතීවි අවස්ථා තුනක් අහිමි කරගත් අතර දිවා ආහාරයට පෙර දෙපිලේම විතීවි අවස්ථා හතරම අවසන් වී තිබිණ.
දිවා ආහාරයට පෙර, ලකුණක පරතරයක් තිබියදී, ජෝ බර්න්ස් සහ බෙන් ස්ටෝක්ස් දෙදෙනාම දැවීයාම හේතුවෙන් තරගය දෙපිලටම සමබර වූවද දිවා ආහාරයෙන් පසු කොටස එංගලන්ත පිතිකරුවන් විසින් පාලනය කරන ලදි. ජෝ රූට් එහි බර කරට ගෙන සිටි පිතිකරුවා වූයේය.

 

A  D 

gh  lh

 

ඡායාරූප - ඉෂාර කොඩිකාර (ඒ එෆ් පී අනුග්‍රහයෙනි)

 


අදහස් (0)

ජෝ රූට් එංගලන්තය ඉදිරියට ගෙන යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.