Last Update  :  2025-08-25 20:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජයන්ති - ජොහාන් අයිස් ඇල්ල තරණය කරති

ජයන්ති - ජොහාන් අයිස් ඇල්ල තරණය කරති

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එවරස්ට් කන්ද තරණය කිරීමේ උත්සාහයක නිරත ශ්‍රී ලංකාවේ ජයන්ති කුරුඋතුම්පලා සහ ජොහාන් පීරිස් ඉකුත්දා කුම්භා අයිස් ඇල්ල පසුකිරීමට සමත් වූහ. කුම්භා අයිස් ඇල්ල යනු එවරස්ට් පදනම් කඳවුරු පසුකළ සැනින්ම හමුවන ග්ලැසියරයේ පිහිටි මහත් අනතුරුදායක දුර්ගයකි.

මේ හරහා ගමන් කිරීමට ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික ශක්තිමත් බවද එකසේ වැදගත්වේ. ජයන්ති සහ ජොහාන් වසර ගණනාවක ඔවුන් සතු පුහුණුව ප‍්‍රායෝගික වශයෙන් පරීක්ෂාවට ලක්කරමින් සාර්ථකව කුම්භා අයිස් ඇල්ල තරණය කිරීමට සමත් වූහ.

මෙයට අමතරව එවරස්ට් පදනම් කඳවුර ආශ‍්‍රිතව පැවැති වැඩිදුර පුහුණුවීම්වලදී ලොබුච්චේ කඳුමුදුන ආශ‍්‍රයෙන් ජයන්ති පුහුණුවීම්වල නියැලූණ අතර ජොහාන්, ග්ලැසියරය අවට පරිසරයේ පුහුණුවීම්වල නිරත විය. එමගින් කණ්ඩායම් සාමාජිකයන් දෙදෙනාට තනිතනිව තම කුසලතාවන් ඔප මට්ටම් කර ගැනීමටත්, කණ්ඩායමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් අවස්ථාව උදාවිය.

මේ දෙදෙනා දැනට එවරස්ට් කඳු මුදුනට යන ගමන් මාර්ගයේ හමුවන අතිශය සීග‍්‍ර නැග්මක් සහිත කඳවුරු 4 න් එකක් වන 1 වැනි කඳවුරට ළඟාවී සිටින අතර ඔවුන් නැවත වතාවක් කුම්භා අයිස් ඇල්ල හරහා ගමන් කරනු ඇත. මෙය කන්ද වටා යමින් එහි මුදුනට ළඟාවීමේ ක‍්‍රියාවලියේ එක් අංගයකි.

”කන්ද වටා යමින් ඉහළට නැගීමේ පළමු වටය ආරම්භ කිරීමට සූදානම්ව සිටීම සම්බන්ධයෙන් අපි මහත් සතුටට පත්ව සිටිනවා. මම මඳක් අසහනයටත් සහ සැක සහිත තත්ත්වයකටත් පත්ව සිටියා. ඒත් මෑතකදී ලැබූ පුහුණුවෙන් පසු ගමන පිළිබඳව විශ්වාසයෙන් පසුවනවා” යැයි ජොහාන් අදහස් දක්වමින් පැවැසීය.

”මමත් මහත් සතුටින් ඉන්නවා. ඒ වාගේම පළමු කඳවුරෙන් දෙවැනි කඳවුරට ළඟාවීම සම්බන්ධයෙන් යම් සැකයකින් යුතුව සිටිනවා. අපි කන්ද වටා පළමු වරට ගමන් කරමින් ඉහළට නැගීමේදී අපගේ ශරීරයන් ක‍්‍රම ක‍්‍රමයෙන් අදාළ පරිසර තත්ත්වයන්ට අනුකූලව හැඩගැසේවි යැයි අපි සිතනවා. අපිට තවත් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේවි. නමුත් කෙසේ හෝ අපි ඒවා ජයගන්නවා” යැයි ජොහාන්ගේ අදහස් සමග එකඟ වෙමින් ජයන්ති කුරුඋතුම්පාල පැවසුවාය.

එවරස්ට් කන්ද තරණය කිරීමේ නිරත මෙම කණ්ඩායමේ අනුග‍්‍රාහකයන් ලෙස ෆෙයාර්වේ හොල්ඩිංග්ස්, ශ‍්‍රී ලංකන් එයාලයින්ස්, සෙලාන් බැංකුව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ ජනශක්ති ඉන්ෂුවරන්ස් යන සමාගම් සහ ආයතන කටයුතු කරයි.


- 036

 


අදහස් (0)

ජයන්ති - ජොහාන් අයිස් ඇල්ල තරණය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.