Last Update  :  2026-03-27 19:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්ද්‍රශාන්ට උණුසුම් පිළිගැනීමක්

චන්ද්‍රශාන්ට උණුසුම් පිළිගැනීමක්

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රග්බි ක්‍රීඩකයකු, නිලධාරියකු සහ පුහුණුකරුවකුද වූ, දැනට රෝගී තත්ත්වයේ පසු වන චන්ද්‍රශාන් පෙරේරා මහතා වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා හැව්ලොක්ස් පිටියේදී ඊයේ (09) පැවැති රග්බි තරගය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මහත් උණුසුම් අයුරින් චන්ද්‍රශාන් පෙරේරාව පිළිගත්හ. 

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස සැළකෙන අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ සහ චමින්ද වාස් මෙන්ම ෆර්විස් මහරුෆ් සහ කෙන් ද අල්විස් යන පැරණි ක්‍රීඩකයෝ, ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කලකට ඉහතදී තමන්ට ගුරුහරුකම් දුන් සගයා සිප වැළදගනිමින් පිළිගත්හ. 

චන්ද්‍රශාන් පෙරේරාගේ පාසල වන ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ නායකයා මල්දමක් පළන්දා සිය කීර්තිමත් ආදි සිසුවා ඇගයීය. ඉන් පසු චන්ද්‍රශාන් පෙරේරා ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරින් පැමිණ ප්‍රේක්‍ෂකාගාරයේ අසුන් ගත්තේය. 

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රීඩිකාවන්ගේ දැඩි ආදරයට පාත්‍රව සිටි චන්ද්‍රශාන් පෙරේරා තරගයේ පළමු අර්ධය අවසන් වීමෙන් පසුව ක්‍රීඩිකාවන් විසින්ම ක්‍රීඩාංගණය මධ්‍යයට කැඳවාගෙන ගියහ. පසුව චන්ද්‍රශාන් පෙරේරාගේ සේවය ඇගයීමක් ලෙස බොහෝ පිරිස් මුදල් පරිත්‍යාග කළහ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් හර්ෂ සමරනායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය වෙනුවෙන් කෙන් ද අල්විස් යන මහත්වරුද මෙහිදී මුදල් පරිත්‍යාග කළහ. මයික්‍රෆෝනට වඩාත් ඇළුම්කරන්නකු වන චන්ද්‍රශාන් පෙරේරා පැමිණ සිටි පිරිස අමතමින් පැවසුවේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තව දුරටත් ඉදිරියට යනු දැකීම තම බලාපොරොත්තු බවයි. රෝද පුටුම මත සිටිමින් නැවතත් ප්‍රේක්‍ෂකාගාරය වෙත පැමිණෙන අතරතුරදී චන්ද්‍රශාන් පෙරේරා සංගීතයට අනුව නර්ථනයේ යෙදුණු අතර එයට රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් පිරිනැමිණ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න, උප සභාපති රිස්වි ඉල්ලියාස් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.   

ඡායාරූප : ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර


අදහස් (0)

චන්ද්‍රශාන්ට උණුසුම් පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.